Friday, 29 March 2024

රථවාහන තදබදයට පිළියමක් ලෙස බේරේවැව මගී ප්‍රවාහන බෝට්ටු සේවය අරඹයි

Posted On Thursday, 22 August 2019 10:04

කොළඹ නගරයේ ප්‍රවාහන අවශ්‍යතාවන් සහ ජනතාවගේ අගනා කාලය ඉතිරිකරමින් මානසික අසහනයකින් තොරව රාජකාරී කටයුතු ආරම්භකිරීමට ඉඩ පහසුකම් සළසමින් රථවාහන තදබදයට පිළියමක් ලෙස බේරේවැව මගී ප්‍රවාහන බෝට්ටු සේවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් අද (22) උදෑසන කොළඹදී ආරම්භ කළේ ය.



කොළඹ කොටුව ලේක්හවුස් ආයතනය ඉදිරිපිට මැකලම් ගේට්ටුව ආසන්නයේ ඉදිකර ඇති බෝට්ටු නැවතුම් අංගනයේ සිට යුනියන් පෙදෙස බෝට්ටු අංගනය දක්වා මේ ඔස්සේ ගමන් කළ හැකි අතර බස්නාහිර හා මහනගර අමාත්‍යංශයේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම බෝට්ටු සේවය ආරම්භ කර ඇත.

මේ සඳහා බස්රථයෙන් ගමන් කිරීමට පැය භාගයක පමණ කාලයක් ගතවන අතර මෙම මගී ප්‍රවාහන බෝට්ටු සේවාවෙදී එම ගමන මිනිත්තු දහයක් වැනි කෙටි කාලයකින් ගමන් කළ හැකිය.

සැහැල්ලු දුම්රිය ,රාජගිරිය දක්වා කුළුණු මත ඉදිවන මාර්ග ඇතුළුව කොළඹ නගරය තුළ නව මාර්ග පද්ධතියක් බිහි කර අලංකාර නවීණ නගරයක් බවට කොළඹ නගරය පත් කර ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කරන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා එමගින් දේශිය විදේශීය ආයෝජනයන් ඇති කර රට දියුණු කර අනායන ආර්ථිකයක් මෙරට ඇති කරන බව වැඩිදුරටත් පැවසීය.

 මෙහිදි අදහස් දැක් වූ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා, පසුගිය රජයන් මගින් ප්‍රවාහනය සඳහා විශාල වියදමක් දැරුවද මාර්ග තදබදය සඳහා නිවැරදි විසඳුමක් ලැබී නොමැති බවත් ඒ සඳහා පොදු ප්‍රවාහනට ශක්තිමත් කළ යුතු බවත් පැවසීය.

ඒ සඳහා තම අමාත්‍යංශය පියවර රැසක් ගෙන ඇති බවත් ප්‍රවාහන බහු විධ මධ්‍යස්ථානයක් කොළඹ නගරයේ පිහිටුවීමට කටයුතු කර ඇති අතර වසර 200කට පසු බේරේ වැවේ රොන් මඩ තට්ටු ඉවත් කිරීම සඳහා කටයුතු කරන බවද බවත් ඒ මහතා වැඩිදුරටත් කීවේය.

 දැනට එක් යාත්‍රාවක මගීන් 50ක් ප්‍රවාහනය කරන, මෙම සේවය ජනතාව අතර ප්‍රචලිත කිරීම උදෙසා පළමු මාසය තුළ නොමිලයේ ගමන් කල හැකි පහසුකම් සළසා ඇත.

මෙම අවස්ථාවට සංචාරක හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් ඇතුළු අමාත්‍යවරු රැසක්ද, නාවික හමුදාපති රියා අද්මිරාල් ප්‍රියන්ත සිල්වා, ශ්‍රී ලංකා සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, සංචාරක මණ්ඩලයේ සභාපති ඇතුළු අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.