Tuesday, 16 April 2024

පහ ශ්‍රේණිය ශිෂ්‍යාධාර මුදල 50% කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය

Posted On Wednesday, 04 September 2019 09:43

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සිසු දරුවන්ට රජයෙන් ලබා දෙන ශිෂ්‍යාධාර මුදල රු.500/- සිට රු.750/- දක්වා 50% කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවේ.



ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වල ශිෂ්‍යත්ව විභාගය සමත් වූ දක්ෂ දරුවන්ට වැඩිදුර අධ්‍යාපනය සඳහා ලබා දුන් ශිෂ්‍යාධාරය, වසර ගණනාවකින් වැඩි නොකිරීම නිසා එම ආධාර මුදල ඉහළ නැංවීම සඳහා අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය  (03) අනුමත කළේය.

ශිෂ්‍යත්ව සමතුනට 6 වැනි ශ්‍රේණියේ සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) දක්වා අධ්‍යාපන කටයුතු කර ගෙන යාම සඳහා නිදහස් අධ්‍යාපනය අර්ථවත් කරමින් මේ ශිෂ්‍යාධාරය ලබා දෙයි.

දැනට වාර්ෂිකව ශිෂ්‍යාධාර ලබන 130,000 ක් පමණ සිසු දරු දැරියන්ගේ ශිෂ්‍යාධාර මුදල, මෙම තීරණය නිසා 50% කින් වැඩි වනු ඇත.

මාසයකට රු.500/- බැගින් ශිෂ්‍යාධාර ලබාදීම සඳහා රජය වාර්ෂිකව රුපියල් මිලියන 610 ක් වැය කරන අතර වාර්ෂිකව මිලියන 365 ක අතිරේක පිරිවැයක් දරමින් රජය මෙම ශිෂ්‍යාධාර මුදල රු.750/- දක්වා වැඩි කිරීමෙන් අපේක්ෂා කරන්නේ නිදහස් අධ්‍යාපන අයිතිය තවදුරටත් තහවුරු කිරීම බව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

තමා අධ්‍යාපන අමාත්‍යධූරයට පත්වීමෙන් පසු සිව් වසරක් වැනි ඉතා කෙටි කාලයක් තුළ අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය වෙනුවෙන් දැඩි කැපවීමෙන් හා අධිෂ්ඨානයෙන් යුතුව විප්ලවීය පියවර රැසක් ගනු ලැබුවේ රටේ අනාගතය බාර ගැනීමට සිටින දරු පරපුර ඕනෑම ගෝලීය අභියෝගයකට මුහුණ දිය හැකි උගතුන් පිරිසක් බවට පත් කිරීමසිය රජයේ ප්‍රතිපත්තියක් වන නිසා බවත් අමාත්‍යවරයා පවසයි.