Friday, 29 March 2024

අවු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ට මාසිකව රු. 5000 ක දීමනාවක්- අමාත්‍ය දයා ගමගේ

Posted On Thursday, 12 September 2019 08:02

වයස අවුරුදු 60 ට වඩා වැඩි ජ්‍යෙෂ්ඨ කලාකරුවන් සඳහා මාසයකට රුපියල් 5000 බැගින් ලබා දීමට කටයුතු කරන බව ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා ප්‍රකාශ කළේය.



එම වැඩසටහනකින් පළමු අදියර ලෙස ජ්‍යෙෂ්ඨ කලාකරුවන් 200 දෙනෙකුට පළමුව එම දීමනාව ලබා දීමට කටයුතු කරන බවත් ඇමතිවරයා පැවසීය.

රජය විසින් කලාකරුවන් සඳහා වෙන් කර ඇති රුපියල් මිලියන 94 ක මුදලින් ලැබෙන පොළිය මත එම දීමනාව ලබා දීමට කටයුතු කරන බවත් ඇමතිවරයා පැවසීය.

සංස්කෘතික අමාත්‍යාංශය සහ සමාජ ආරක්ෂණ මණ්ඩලය මඟින් මෙම වැඩසටහන සිදු කරන අතර සමාජ ආරක්ෂණ මණ්ඩලය මඟින් එය මෙහෙයවනු ලැබේ.

එක්සත් ජාතික කලා සංසදය, ගායක ගායිකා සංගමය, ජාතික කලා සංසදය, මොරටුව කලා එකමුතුව ඇතුළු කලා සංගම් කිහිපයක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවති සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව කීය.

චිත්‍රපට අධ්‍යක්ෂ සුනිල් සෝම පීරිස්, නාලන් මෙන්ඩිස්, කීර්තී පැස්කුවෙල්, චිත්‍රා කුමාරි කළුබෝවිල, සැනට් දික්කුඹුර, සරත් ද අල්විස් ඇතුළු කලාකරුවෝ රැසක් ඒ සඳහා සහභාගී වී සිටියහ.

කලාකරුවන්ගේ ප්‍රශ්න සහ එම ක්ෂේත්‍රයට බලපාන කරුණු කාරණා ගණනාවක් එහිදී දෙපාර්ශවයෙන් ම සාකච්ඡාවට ලක්වුණු අතර එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේ ද කීය.

ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ට ලබා දෙ එකම මාසික විශ්‍රාම වැටුප ඔබ විසින් තෝරා මා වෙත දැනුම් දෙන්න. දැනට අපි 200 දෙනෙකුගෙන් එම වැඩසටහන ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. කලාකරුවන්ගේ අරමුදල තවදුරටත් වර්ධනය කර ගැනීමට අපි ඉදිරියේදී කටයුතු කරනවා. එවිට අපිට අරමුදලෙන් ලැබෙන පොළිය වැඩි වෙනවා. ඒ අනුව ඉදිරියේ දී තවත් කලාකරුවන් පිරිසකට විශ්‍රාම වැටුප ලබාදිය හැකියි.

ඔබ විසින් තෝරා එවනු ලබන කලාකරුවන්ට විශ්‍රාම වැටුප හිමිකර ගැනීමට තරම් සුදුසුද කියලා ඔබ තීරණය කරන්න. ඔවුන්ට තමන්ගේ දිවිපෙවෙත සරිකර ගැනීමටත් නොහැකි නම්, ඔවුන්ගේ දරුවන්ට ඔවුන් පෝෂණය කිරීමටත් නොහැකි නම් අපි ඔවුන්ට අනිවාර්යයෙන් විශ්‍රාම වැටුප ලබා දෙනවා.

කලාකරුවන්ගේ අරමුදල වර්ථමානය කරගැනීම සඳහා අපට කලාකරුවන්ගේම උදව් ලබා ගත හැකියි. විශේෂයෙන් අරමුදලට ආධාර පිණිස කලාකරුවන්ට තම කලා හැකියාවන් මඟින් දායකත්වය ලබා දෙන් පුළුවන්.

දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම මාසයකට වරක් වෛද්‍ය සායනයක් පැවැත්වීමට අපි තීරණය කරල කර තිබෙනවා. එවැනි කලාකරුවන් වෙනුවෙන් ද පැවැත්වීමට අපට හැකියි. කලාකරුවන් වෙනුවෙන් අවශ්‍ය නොයෙකුත් සහන සහ සේවාවන් ලබා ගැනීම සඳහා සංගමයක් හෝ සමිතියක් මඟින් ඉල්ලීමක් කිරීමෙන් වැඩි ප්‍රතිලාභයක් ලබා ගත හැකි බවත් ඇමතිවරයා එහිදී කීය.