Tuesday, 23 January 2018

පුරාවස්තු හානියට පත් කරන්නන්ට දඬුවම් වැඩි කෙරේ

Posted On Saturday, 31 December 2016 07:38

නිධන් හෑරීම යළි වර්ධනය වෙමින් තිබේ. නිධන් මුවාවෙන් වංචා කිරීම් රැසක් ද වාර්තා වි ඇත. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානාක මහතාගෙන් ඒ පිළිබඳ සිළුමිණ කළ විමසීමකි.


වසරකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ‍පොලිස් ඒකකයට නිධන් හෑරීම පිළිබඳ පැමිණිලි 150ක් පමණ වාර්තා වේ. පුරාවිද්‍යා පොලිස් ඒකකයට ඒ සියල්ල පුරාවස්තු විනාශයන් ය.

පුරාවස්තු විනාශ කරන්නෝ පුරාවිද්‍යා ආඥා පනත යටතේ අත්අඩංගුවට ගනු ලබති. එසේ අත්අඩංගුවට පත් වූ විට ඇප හිමි වන්නේ නැත. නීතියෙන් දඬුවම් ලැබුණු විට එය අවසන් වීමෙන් හෝ අධිකරණය මගින් නිදොස් කොට නිදහස් කිරීමෙන් පමණක් නිදහස් ‍වේ. මේ වන විට පුරාවිද්‍යා ආඥා පනත සංශෝධන දඬුවම් හා දඩ සීමාවන් ඉහළ දැමීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී. එම පනත් කෙටුම් පත් නීතිපතිවරයාට දිරිපත් කොට ඇත.

එහෙත් නීති ක්‍ෂෙත්‍රයේ විද්වතුන්ගේ මතය වී ඇත්තේ දඩ මුදල් වැඩි කිරීමෙන් හෝ නීති පැනවීමෙන් පමණක් මෙය පාලනය කළ නොහැකි බවයි.

නීතිය ශක්තිමත් කිරීමට පියවර ගන්නා අතර ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ජනතාව දැනුවත් කිරීමේ කටයුතු ද නොඅඩුව සිදු කරනු ලබන බව පවසන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාව මනා අවබෝධයකින් තම ප්‍රදේශයේ දී සිදුවන විනාශයක් වළක්වා ගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු සඳහා සහය දෙන බව ද ප්‍රකාශ කළේය. එ‍සේ වූව ද පසු ගිය වසර හා සසඳද්දී මේ වසරේ පුරාවස්තු හානී කිරීම් ඉහළ ‍ගොස් ඇති බව ද පෙන්වා ඇත්තේය.

ඇත්තට ම නිධන් කියලා දෙයක් නැද්ද? යන පැනට පුරාවිද්‍ය අධ්‍යක්ෂ ජනරාල් සෙනරත්දිසානායක මහතා “ නිධන් කියලා දෙයක් තියෙනවා.“ යි පිළිතුරු දුන්නේය.

“නිධන් කියන්නෙ පොළොවේ තැන්පත් කළ දේ. අතිතයේ දාගැබ් පිළිම නිර්මාණය කරද්දී අෂ්ට මංගල වස්තු, ආගමික පුජා වස්තු,මංගල සම්මත රූප තැන්පත් කළා. ඒවා තමයි නිධන්. එත් ඒ හමුවන රූප ලෝකඩ, තඹ, හෝ මැටි ඒවා කලාත්මක අගයෙන් අඩුයි.

කලාත්මක අගයෙන් අඩු වෙන්න හේතුව ඒවා කාටවත් ආයේ නොපෙනෙන සේ වැසෙන නිසයි. ඒවායේ රන්, රිදී මුතු මැණික් නැහැ.

නිධන් හාරන්නේ අද ඊයේ ඉඳලා නොවෙයි. අනුරාධපුර, පොලොන්නරු යුගවලත් නිධන් හෑරුවා. 10 වැනි සියවසේ ලංකාවේ දාගැබ් සියල්ල විනාශ කළා; රාජ්‍ය ම කොල්ලකෑවා. ඒ වෙලාවේ තිබුණු වටින දෑ රටින් ගෙන ගියා. එසේ රැගෙන ගිය රත්තරන් රාත්තල් 300ක් පමණ කංචිපුරම් දෙවෙ­ාලට පූජා කර තියෙනවා.

නිධන් සොරුන් ගේ ග්‍රහණයට හසු නොවූ විහාර දාගැබ් කිහිපයයි. දැනට තියෙන්නේ ඒ අතරින් දැදිගම කොටවෙහෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් කැණිම් කළා. එහි තිබී හමු වුණේ තුනි රන්තහඩුවලින් කළ ධාතු කරඬුවල මුළු රන් බර පවුම් දෙකකටත් අඩුයි. අර්ධ මැණික් කිලෝ එකහමාරක් පමණ හමු වුණා. එහි වර්තමාන වෙළෙඳපොළ වටිනාකම කිලෝ එකක් රුපියල් 1000ක් 2000ත් අතරයි පවතින්නේ.

සියඹලාණ්ඩුවේ මානාභරණ විහාර දාගැබ නිදන් හොරුන්ට හසු වී තිබුණේ නැහැ. එය කැණීම් කරද්දි කිසිදු මූල්‍යමය වටිනාකමකින් යුතු දෙයක් හමු වුණේ නැහැ. පබලු, බුදු පිළිම කිහිපයක්, තාරා‍දේවී ප්‍රතිමාවක් හමු වූණා.

නීලගිරිය නිධන් හොරුන් හානි නොකළ දාගැබක් එහි තිබී රන් කරඬු තුනක් හමු වුණා. එවා කැරට් 14 රන්. පූජා ද්‍රව්‍ය හැරුණු විට මිල කළ හැකි ‍දෙයක් තිබුණේ නැහැ.“

පුරාවිද්‍යා කැණීම්වලදී රනින් නිර්මිත දෑ ලැබී නැද්ද?

“ලැබී තියෙනවා. ජේතවන විහාරයෙන් හමු වූ ධර්මය ලියූ රන්පත් හත, අභයගිරියෙන් හමු වු ස්වර්ණ (අමු රන්)පිණ්ඩකය, මානියංගලින් හමු වු රන් නළල් පට, මධ්‍ය කාලීන යුගයට අයත් වරින් වර හමු වු රන් කාසි 20 පමණ, නීලගිරියෙන් හා දැදිගමින් හමු වූ තුනී රන් තහඩුවෙන් කළ ධාතු කරඬු ඒ අතර වෙනවා.“

නිදන් වදුල කියන දේවල් බොරුද?

“එය සාහිත නිර්මාණයක්. අතිතයේ සිටී ගම් වැසි පඬිවරුන් ජනප්‍රවාද ලේඛන ගත කළා. ඒවා ඇත්ත යැයි මිනිසුන් පිළිගැනීමට පෙලඹී සිටිනවා. නිදන් වදුලට අනුව ඇතෙක් බරට රන් හෝ වරාගම් කොහේවත් තැන්පත් කරලා නැහැ.“

ජනප්‍රවාද මිථ්‍යාවක් ද?

“සීයයට සීයයක් ඇත්ත නොවේ, මිනිසුන් දැකින සංකේත, රූප හඳුනා නොගැනීම නිසයි පුරාවස්වලට හානි කිරීමට පෙල‍ඹෙන්නේ.“

ඓතිහාසික යුගයේ ලංකාවේ රන් භාවිතය පිළිබඳ ඔබට අදහසක් තිබෙනව ද?

“අපේ රටේ අසීමිතව රන් තිබුණේ නැහැ. පොළොවෙ රන් තිබුණා. දැනුත් තියෙනවා. එත් ප්‍රමාණවත් පරිදි නැහැ. අතීතයේ රන් මුතු මැණික් භාවිතයට අවසර තිබු‍ණේ රජුට හා විහාරයට පමණයි. සාමාන්‍ය ජනයාට එවන් අයිතියක් ‍හෝ හැකියාවක් තිබුණේ නැහැ.“

නිධන් හෑරීම පිළිබඳව පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයා ‍ලෙස ඔබට කියන්න යමක් ඇති.

“මේක ව්‍යාපාරයක් කෙනෙක් පොළොව නිරීක්ෂණය කරන යන්ත්‍රයක් තියාගෙන මුදල් උපයන ක්‍රමවේදයක් සකසා ගන්නවා. තව‍ කෙනෙක් මන්ත්‍ර බලය යොදාගෙන මුදල් උපයනවා. නිදන් තියෙනව නම් හමුවෙන්න එපායැ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් අවුරුදු 150ක් තිස්සෙ ම නීත්‍යානූකූලව කැණීම් කරනවා. මේ මිථ්‍යාවට හසුවීමෙන් වෙන්නේ නීතියේ ඉදිරියේ වරදකරුවකු වීම, දෙවනුව අපේ උරුමය විනාශ වීම, තුන්වෙනුව තමන් දුකසේ උපයා ගත් මුදල් අහිමි වීම. එයින් තමන්ගේ විනාශය නොදැනුවත්කමින් ළඟා කරගන්න එපා කියලා තමයි මම පුරාවස්තු වනසන්නන්ගෙන් ඉල්ලා සිටින්නේ.“

සුගලා දේවියගෙ සොහොන බිඳලා මමියක් සොයා ගෙනලු...

“ඇය දොළොස් වැනි සියවසේ සිටී පාලිකාවක්, එහෙම මමියක් තිබුණා නම් ඇත්තටම දැක්ක කෙනෙක් ඉන්නවද? ඒක බොරුවක්. එහෙම එකක් නැහැ. ඕන කෙනෙකුට කතා ගොතන්න පුළුවන්.“

පුරාවිද්‍යා ස්ථාන හෝ ස්මාරකවල මෑත කාලීනව සඟවා තබා ඇති රන් හෝ වෙනත් දේ පුරාවිද්‍යා ආඥා පනතට යටත් ද?

“නැහැ. ඒවා පුරාවිද්‍යා නිලධාරීන් හඳුනාගන්නවා.“

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!