Friday, 27 April 2018

වන වගාවේ පෝෂණය ගෙවත්තට

Posted On Saturday, 31 December 2016 07:55

අතීතයේ අපට උරුම වූ ස්වාභාවික ගොවිතැන වර්තමානය වනවිට මිනිසාගෙන් ඈත් වී තිබේ. බහුජාතික සමාගම්වල නිෂ්පාදන වැලඳගැනීමත් සමඟ මිනිසාට ආවේණික න්‍යාය පත්‍ර බහු ජාතික සමාගම්වලට අනුරූපව වෙනස් විය. ආහාර ඇඳුම් පැලඳුම් පමණක් නොව ඊට සරිලන ලෙස ආධ්‍යාත්මය ද වෙනස් කිරීමට බහුජාතික සමාගම් සමත් විය.

මෙහි ප්‍රතිවිපාක වූයේ මිනිසා නිරන්තර රෝගියෙක් බවට පත්වීමෙනි. එහෙත් වර්තමානයේ එය පිටු දැකීමට මිනිසා පෙළ ගැසෙමින් සිටියි.

පහසුව ලේසිය වැඩි අස්වැන්න ප්‍රමුඛ කරගෙන වස විස ජීවිතයට එක් කරගැනීම නිසා එක් පරම්පරාවක් නොව පරම් පරා ගණනාවක් ගොදුරු කරගැනීමට තරම් ව්‍යාධි නිර්මාණය විය. මේ ව්‍යසනයෙන් මිදී මට නම් මිනිසා ස්වාභාවික පරිසරය සමඟ බද්ධ විය යුතු කාලය දැන් එළඹ ඇත.

අතිතයේදී ස්වාභාවික ගොවිතැනට ගොවියා හුරුවීම නිසා වස විස ශරීරගත විම පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් ඇති නොවුණි. එහෙත් රසායනිකවල ආක්‍රමණයත් සමඟ එය සපුරා වෙනස් විය. මේ නිසා නැවත ස්වභාවික ගොවිතැනට විතැන්වීමට වර්තමාන ගොවියාට අවශ්‍ය විය. මෙය ප්‍රථමයෙන්ම ගෙවත්තට භාවිතා කිරීමට වඩාත් ප්‍රඥාගෝචර විය.

මේ නිසා ස්වාභාවික ගොවිතැනේ මූලධර්මය මුලින්ම හඳුනාගත යුතුය. මෙය හඳුනා නොගෙන කිසිදු පියවරක් තැබීමට නොහැකිය. වර්තමානයේ බොහෝ දෙනා ස්වාභාවික ගොවිතැන සහ කාබනික ගොවිතැන කියන්නේ එකක් කියලා වැරැදි අර්ථකථනයකට එළඹි තිබීම කනගාටුවට කරුණක්.

එහෙත් මේ ක්‍රම දෙකක දෙකක් කියන එක අප මුලින් අවබෝධ කරගත යුතුය. ස්වාභාවික ගොවිතැනේ අප ආදේශ කරගන්නේ වනාන්තරයක්. වනාන්තරයක ගස් හැදෙන්න පොහොර භාවිතනේ තොරයි. එහෙත් සරු සාරව වැඩෙන බව නම් අපට පැහැදිලියි. අපි මේ ක්‍රමය ගෙවතු වගාව සඳහා ආදේශ කළ හොත් එම ප්‍රතිඵලයම අත්විය හැකිය.

මේ අත්හදා බැලීමේ සාර්ථකත්වය මුලින්ම සොයාගත්තේ ජපන් ජාතික මෙයිෂු‍සාමා තුමා. ඒ තුමා වනාන්තර පද්ධතිය ගෙවත්තට ආදේශ කිරීමෙන් සරු අස්වැන්නක් ලබාගත හැකි බව ප්‍රායෝගිකව තහවුරු කළේය. මෙයිෂු‍සාමා තුමා තහවුරු කළ මතය අනුව පස යනු පොහොර නිපදවන කම්හලකි. ඒ අනුව වනාන්තර පද්ධතියක ඇති පසේ මේ යන්ත්‍රණය ක්‍රියාත්මක වීම සාමාන්‍ය දෙයකි.

වනාන්තරයේ පොහොර සෑදීම

උදාහරණ ලෙස වනාන්තරයේ ඇති උණ ගසක් තමන්ට අවශ්‍ය නැති කොළ ඉවත් කිරීම සාමන්‍ය ක්‍රියාවලිය බව අපි දනිමු. එහෙත් මේ ඉවත් කරන කොළ ගස පාමුල වැටී ගසට අවශ්‍ය පොහොර නිෂ්පාදනය කරයි. මේ ආකාරයට ඕනෑම ගසක් තමන්ට අවශ්‍ය පොහොර නිෂ්පාදනය කරයි. ස්වාභාව ධර්මයේ නිර්මාණය එලෙසයි. මේ ආකාරයට පොහොර නිෂ්පාදනයට අවශ්‍ය ද නැද්ද කියන දෙය ඔබට සනාථ වනු ඇත.

වනාන්තර පද්ධතියේ ක්‍රියාවලිය

වර්තමානයේ ගෙවතුවල පස නිසරුයි. පසේ ස්වාභාවිකව පස නිර්මාණය වීමේ යන්ත්‍රණය අක්‍රියයි. මේ නිසා සරු අස්වැන්නක් ලැබීමේ සම්භාවිතාව අඩුයි. මේ නිසා වනාන්තර පද්ධතියේ ඇති තත්ත්වය ගෙවත්තට ආදේශ කිරීම වඩාත් වැදගත් වේ. ගෙවත්තේ පස සාරවත් කිරීමට අවශ්‍ය ක්‍රියාවලිය නිර්මාණය කිරීමට නම් කළ යුත්තේ ඉතාමත් සුළු දෙයකි.

මේ සඳහා කැකුළු හාල්වලින් බත් උයා බත් බෝලයක් සාදා ඝනව කැලය වැවී ඇති ස්ථානයක දින දහයක් තිබීමට සැලැස්විය යුතුය. දින දහය ඉක්මයාමෙන් පසු බත් බෝල පුළුන් රොදක් වන තරම් දිරාපත් වනු දක්නට ලැබේ. මෙය රැගෙන විත් එය ප්ලාස්ටික් බඳුනකට දමා එයට උක් පැණි ඒ වේලාවේම මිරිකා දමා සුළං නොවැදෙන පිණිස දින විසි එකක් තබාගත යුතුය.ඉන්පසු මේ සඳහා යෝගට් සහ ඊස්ට් එක් කරයි. මේ ආකාරයට ක්ෂුද්‍ර ජීවින් කෘත්‍රිමව සාදා ගැනීමට සලස්වයි. මේ සාදා ගන්නා මිශ්‍රණය ජපනු බොකෂි යනුවෙන් හඳුන්වති.

ගෙවත්තේ පාත්ති සැකසීම

ස්වාභාවික ගොවිතැන් ක්‍රමයට වගා කිරීමේ දී පාත්ති සැකසීමක් සිදු නොවන අතර සිදුවන්නේ පස බුරුල් කිරීමකි. බොකෂි හෙවත් සාදාගත් පොහොරවලට පුන්නක්කු හා කරවල කුඩු ද යොදයි. මෙය සුළං නොවදිනා ආකාරයට තැබිය යුතුය. ඊට පසු බුරුල් කරගත් පසට බොකෂි යෙදීමෙන් පසු ඊට එළු පොහොර යෙදීම කළ යුතුයි. කුකුළ් නොයොදන්නේ මන්දැයි මෙවිට ඔබට ප්‍රශ්නයක් ඇති වනු ඇත. එයට හේතුව කුකුළන්ට කෘතීම ආහාර කෑමට දීමයි. මේ නිසා වස විස එකතුවෙන සීමාවේ කිසිවක් ස්වාභාවික ගොවිතැනේ දී එක් නොකරයි.

සාදාගත් පොහොර පසට යෙදිමෙන් පසු එය මතින් පිදුරු යොදයි. අනතුරුව පස ඇතුළේ ක්ෂුද්‍රජීවීන් සෑදෙන ක්‍රියාවලිය ආරම්භ වේ. පස පෝෂණය කරන ගැඩවිලි ගහනය අධික ලෙස වර්ධනය වීම මෙහිදී දක්නට ලැබේ. ඉන්පසු පැළ සිටුවීමට සුදුසු කාලය බව නිර්ණය කළ හැකිය. මේ අනුව පැළ සිටුවීම සිදු කරයි. වල් පැළෑටි ඇති වීම ස්වභාවික ගොවිතැනේ දී ආශිර්වාදයක් කර සලකයි. මේ නිසා වල් පැළෑටි කිසිවිටකත් විනාශ නොකරයි. වල් පෑළෑටි උදුරා වගාබිමටම දමයි. වගා බිමට පෝෂණය සැපයීමට වල් පෑළෑටි ද හේතු වෙයි.

ශස්‍ය මාරුව

රසායනික ගොවිතැනේ දී එක් වගාවක් පසේ සාරය උරාගත් පසු එම වගාවම නැවත එම බිමේම කළ නොහැකිය. එහෙත් ස්වාභාවික ගොවිතැනේ දී එකම බිමේ එකම භෝගය කීප විටක් වගා කිරීමේ අවස්ථාව ඇත.

මෙයට හේතුව පසේ ඇති වූ ස්වාභාවික තුලනයයි. මේ තුලනය දිගින් දිගටම පවත්වාගෙන යාම ගෙවතුවගාවට වඩාත් වැදගත්වේ. රසායනික ගොවිතැනේදී ක්ෂුද්‍ර ජීවීන් විනාශ වෙන නිසා පස තුළ පොහොර සෑදීමේ යන්ත්‍රණය ක්‍රියාත්මක නොවේ. එහෙත් ස්වභාවික ගොවිතැනේ දී මේ යන්ත්‍රණය ප්‍රබලව ක්‍රියාත්මක වේ.

නැවත වගාව

එක් වගා කාලයක් අවසන් වීමෙන් පසු තවත් වගා කාලයකට එළඹේ. එහෙත් මෙහිදී කිසි විටකවත් පස පෙරළීමක් නොකරයි. සිදු කරනුයේ පස බුරුල් කිරීම පමණකි. උදාහරණ ලෙස ඔබ මිරිස් වගාව කර අවසන් වීමෙන් පසු පරණ ගස් කපා ඉවත් කර ඒ සමීපයෙහිම අලුත් පැළ සිටුවීම සිදු කරයි. මේ තත්ත්වය ගෙවතුවගාවට පමණක් නොව වී වගාවට ද සුදුසු තත්ත්වයක් බව වර්තමානයේදී හඳුනාගෙන ඇත.

ස්වාභාවික ගොවිතැන ගෙවතු වගාවට යොදාගැනීමෙන් අස්වැන්න ශීඝ්‍රයෙන් සරු වීම මෙන්ම පස ආරක්ෂා වීම ද පැහැදිලිව දක්නට ලැබෙන තත්ත්වයකි. මේ නිසා මිනිසා නිරෝගී වීම මෙන්ම ආර්ථික වාසියක් සලසා ගැනීමට ද හැකියාව ලැබේ.

(සෙකයිකියුසෙ පදනමේ කිංස්ලි කාරියවසම් මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙනි. )

රූපාන්ති බුලත්සිංහල
ඡායාරූප -සුදම් ගුණසිංහ / රුවන් ද සිල්වා






ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!