Thursday, 25 April 2024

අධිකරණයේ ස්‌වාධීනත්වය සුරැකීම - අද සන්නස තෝරන කතුවැකිය

Posted On Tuesday, 21 February 2017 03:35

මඩකලපුවේ නීතිඥවරයකු ලෙස කටයුතු කළ රාමනාදන් කන්නන් මහතා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මහාධිකරණ විනිසුරුවරයා ලෙස පත් කිරීම හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දැඩි විවේචනයට ලක්‌ව තිබේ. වත්මන් ජනපතිවරයා 2015 දී වැඩ ආරම්භ කළේ ජනපති කාර්යාලයෙන් නිකුත් කළ තුණ්‌ඩුවකින් එවක සිටි අගවිනිසුරුවරයා නෙරපා හැර මුළු අධිකරණ පද්ධතියම භීෂණයට ලක්‌ කරමින් බව රාජපක්‍ෂ මහතා කියයි.



අධිකරණයේ ස්‌වාධීනත්වයට තර්ජනයක්‌ එල්ල වීම බරපතළ ප්‍රශ්නයකි. එහෙත් මෙය අද ඊයේ සිදුවූ දෙයක්‌ නම් නොවේ. බලයට පැමිණෙන සෑම ආණ්‌ඩුවක්‌ම උත්සාහ කරන්නේ අධිකරණයද තමන්ට අවශ්‍ය ලෙස මෙහෙයවා ගැනීමට ය. නීතිය කන ළඟින් නැමීම මීට අදාළද නැද්ද යන්න වෙනම කාරණයකි. කවරක්‌ නමුත් කවර බලවේගයක්‌ විසින් හෝ අධිකරණයේ ස්‌වාධීනත්වයට බලපෑම් කරන්නේ නම් නීති ගරුක පුරවැසියන් ලෙස අප ඊට එරෙහි විය යුතු ය.

හිටපු ජනපතිවරයාගේ කාලයේත් අධිකරණය හා විධායකය අතර ගැටුමක්‌ පැවතිණි. හිටපු ජනපතිවරයා මාධ්‍ය ප්‍රධානීන් කැඳවා එවක සිටි අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාගේ ක්‍රියා කලාපය විවේචනය කළ අයුරුද අපට මතකය. එසේම 2012 ඔක්‌තෝබර් 07 වැනිදා ගල්කිස්‌ස ශාන්ත තෝමස්‌ විද්‍යාලය අසලදී හේරත් මුදියන්සේලාගේ රවීන්ද්‍ර මංජුල තිලකරත්න සිව් දෙනකුගේ ප්‍රහාරයට ලක්‌වෙති. මේ මංජුල තිලකරත්න යනු අධිකරණ සේවා කොමිෂන් සභාවේ එවක ලේකම්වරයාය. මෙය නීතියේ ආධිපත්‍යය බිඳවැටුණු අවස්‌ථාවක්‌ද?

ජනපති ඡේ. ආර්. ජයවර්ධන මහතා විසින් අගවිනිසුරු ලෙස පත් කරන ලද්දේ ජ්‍යෙෂ්ඨ නීතිඥයකු වූ නෙවිල් සමරකෝන් මහතා ය. ඡේ. ආර්. විසින් සිය මිත්‍රකම මත නෙවිල් සමරකෝන් අගවිනිසුරු ධුරයට පත් කළත් ඔහු එම මිත්‍රත්වයට තැන දෙනවා වෙනුවට රාජකාරියට තැන දුන්නේ ය. මේ නිසාම ඡේ. ආර්. හා නෙවිල් සමරකෝන් අතර මිත්‍රත්වය විරසකයක්‌ බවට පෙරළිණි. නමුත් හිටපු අගවිනිසුරුවරයා ලබාදුන් තීන්දු මගින් උත්සාහ ගැනුණේ නීතියේ ආධිපත්‍යය පිහිටුවීමට මිස අනාගත දේශපාලන තරගයකට නම් නොවේ. නෙවිල් සමරකෝන් මහතා විශ්‍රාම යැමෙන් අනතුරුව දේශපාලන පක්‍ෂයකට ආධාර කරන්නට හෝ තනතුරු භාර ගන්නට නොගිය අතර ඔහු ඇත්තටම විශ්‍රාම ගියේ ය. මේ අතීත කතාවකි. එය වර්තමානයටත් වැදගත් ය. හිටපු ජනාධිපතිනිය සිය හිතවතෙකු වූ සරත් එන්. සිල්වා මහතා අගවිනිසුරු ධුරයට පත් කළද පසුව මේ දෙදෙනා අතර අමනාපයක්‌ ඇති විය. හිටපු ජනපතිනියට කලින්ම ජනපති පුටුවට සමුදීමට සිදු වූවේ ද සරත් සිල්වා අගවිනිසුරුවරයා ලබාදුන් තීන්දුවක්‌ නිසය.

එසේම රාජපක්‍ෂ රජය සමයේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා යෝජනාවක්‌ මගින් ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය එම ධුරයෙන් ඉවත් කරනු ලැබී ය. මේ හරහා බරපතළ මතභේදාත්මක තත්ත්වයක්‌ නිර්මාණය විය. ජනවාරි 08 වෙනසින් පසුව නම් බණ්‌ඩාරනායක මහත්මිය යළිත් එක්‌ දිනයකට අගවිනිසුරු වී පසුවදා විශ්‍රාම ගියා ය. එයින් පසුව නව අගවිනිසුරු ලෙස කේ. ශ්‍රීපවන් මහතා පත්කරනු ලැබීය.

අතීත කතා මෙන්ම වර්තමාන කතා ගැන ද අප අවධානය යොමු කළ යුතු ය. අතීතය අමතක කර වර්තමානය පිළිබඳ තීන්දු ගැනීමට නොහැකි ය. අතීත වැරදිවලින් සියලු දෙනා පාඩම් ඉගෙන ගත යුතු අතර මතුවට ඒවා සිදු නොවීමට වග බලා ගත යුතු ය. නීතියේ ආධිපත්‍යය සුරැකීම කෙරෙහි මහා බලාපොරොත්තු ලබාදෙමින් බලයට පත්වූ යහපාලනයටත් දැන් අධිකරණ ස්‌වාධීනත්වයට බලපෑම් කරන බවට චෝදනා එල්ල වෙමින් පවතී. මෙය යහපත් ප්‍රවණතාවක්‌ නම් නොවේ.

කවරක්‌ නමුත් අධිකරණයේ ස්‌වාධීනත්වය සුරැකීම අනිවාර්ය අංගයකි. එයට බලපෑම් එල්ල වුවහොත් රට අරාජික වීම වැළැක්‌විය නොහැකි ය.