Thursday, 25 April 2024

සෝමාලියාවේ දරුණු නියඟය - අද විදෙස් පුවත

Posted On Monday, 06 March 2017 05:08

අප්‍රිකා මහාද්වීපයේ රටවල් සෑහෙන සංඛ්‍යාවකට බලප ඇති එල් නිනෝ තත්ත්වය හේතුවෙන් අප්‍රිකා කලාපය

මේ වනවිට සමාජ සහ ආර්ථික ගැටලු රැසකට මුහුණ දී සිටී. ලෝක ආහාර වැඩසටහන පසුගිය දා අනාවරණය කළේ දකුණු අප්‍රිකා කලාපයේ ජීවත්වන මිලියන 14කට අධික පිරිසක් නුදුරු දිනෙකදී දැඩි ආහාර හිඟයකට මුහුණ දෙනු ඇති බවයි. ඒ අනුව මලාවි රාජ්‍යයේ මිලියන 2.8ක පිරිසකුත්, මැඩගස්කරයේ මිලියන 1.9ක පිරිසක් සිම්බාබ්වේ රාජ්‍යයේ මිලියන 1.5ක පිරිසක් එකී දැඩි සාගතයට ගොදුරු වනු ඇති බව ලෝක ආහාර වැඩසටහන සනාත කර තිබිණ. එවැනි තත්ත්වයක් පැන නැඟී ඇත්තේ පසුගිය වසරේ මුල භාගයේ සිට මේ දක්වා දකුණු අප්‍රිකා කලාපය තුළ පවතින දැඩි නියඟයෙන් හටගත් වගා විනාශ කරණ කොටගෙනය.

ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශයට පත් කළ මේ අනුමානය මාසයක් ඉක්ම යන්නට පළමුව සත්‍යයකැයි සනාත කරන්නට සිම්බාබ්වේ රාජ්‍යය සමත් විණ. එරට උප ජනාධිපති එමර්සන් එම්නන්ගාග්වා පසුගිය අඟහරුවාදා හරාරේ නුවර පැවැති ප්‍රවෘත්ති සකච්ඡාවකදී කියා සිටියේ මිලියන තුනකට අධික සිම්බාබ්වේ වැසියන් ප්‍රමාණයකට ජලය සහ ආහාර කඩිනමින් අවශ්‍ය බවකි. මේ වසර අවසන් වනතුරු එකී මිලියන තුනට ආහාර සහ ජලය ලබාදෙන්නට අමෙරිකා ඩොලර් බිලියන 1.57ක ආධාර සිම්බාබ්වේ රජයට අවශ්‍ය බවත් උප ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. උප ජනාධිපතිවරයා මේ බැව් ප්‍රකාශ කළේ එරට ජනාධිපති රොබර්ට් මුගාබේ, සිය රට ආපදා තත්ත්වයකට මුහුණ දී ඇති රාජ්‍යයක් ලෙස නම් කිරීමෙන් සතියක් ඉක්ම යන්නටත් පළමුවය.

දිගින් දිගටම වර්ෂාව නොලැබීම හේතුවෙන් සිම්බාබ්වේහි ප්‍රදේශ රැසක ඇළ වේලි සිඳී ගොස් තිබේ. මේ නිසා වගා කටයුතුවලටත් පානය පිණිසත් අවශ්‍ය ජලය අන් කවරදාකටත් වඩා හිඟ වී ඇත. එය සමස්ත පරිසරයේ පැවැත්මට මහත් බාධාවක් වී ඇති බව එරටින් ලැබෙන මාධ්‍ය වාර්තාවල දැක්වේ. වන සත්තු රංචු හැටියට මියැදෙමින් සිටිති. නියඟය සහිත ප්‍රදේශවල ගවයන් ආදී සතුන් නඩත්තු කරන්නට ගොවීන්ට හැකියාවක් නැත. මේ නිසා ඒ සතුන් බුරුතු පිටින් මියයමින් සිටින බව වාර්තා වේ.

වියළි කාලගුණය හේතුවෙන් විනාශයට පත් පළාත් නවයක් පුරා ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන්නට දකුණු අප්‍රිකා බලධාරීහු පසුගිය දා පියවර ගත්හ. ඔවුන් පෙන්වා දුන්නේ මේ වනවිට සිය රටේ කෘෂිකාර්මික කටයුතුවලට හිස ඔසවන්නට බැරි තරමේ ව්‍යයසනයක් සිදුව ඇති බවකි. නියඟය හේතුවෙන් කෘෂිකර්මාන්තයට පමණක් අමෙරිකා ඩොලර් මිලියන 600කට අධික හානියක් සිදුව ඇති බව බලධාරීහු පවසති. දැඩි වියළි කාලගුණයත් සමඟ උෂ්ණත්වයද ඉහළ ගොස් ඇත. දකුණු අප්‍රිකාවෙහි ඇතැම් තැනෙක උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 45ක් පමණ වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එපමණ දැඩි උණුසුම් කාලගුණයක් දරා ගැනීමට නොහැකි වීම හේතුවෙන් සමහර පුද්ගලයන් ජීවිතක්ෂයට පත්ව ඇත.

විවිධ තරාතිරමේ කැරළිකරුවන් නිසා අතිශයින් ම අමානුෂික පීඩාවන්ට ගොදුරුව සිටින සෝමාලියා වැසියෝද නියඟයෙන් බැටකමින් සිටිති. නියඟය හේතුවෙන් සෝමාලියාවේ දරුවන් 58,000කට ආසන්න සංඛ්‍යාවක් මරුමුවට ගමන් කරමින් සිටින බව පසුගියදා බී.බී.සී. ලෝක සේවය, අල්ජසීරා සහ අනෙකුත් මාධ්‍ය වාර්තා කළේය. සෝමාලියා දරුවන් ඉතාමත් දරුණු අන්දමින් මන්දපෝෂණයට ගොදුරුවෙමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

“... විශේෂයෙන්ම දරුවන්ගේ මන්දපෝෂණ මට්ටම භයානක අන්දමින් වැඩි දියුණුවෙමින් තියෙනවා. වයස අවුරුදු පහට අඩු දරුවන් තුන් ලක්ෂ පන්දහසක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙන බවට අප ගණන් බලා තිබෙනවා. ඔවුන් සම්බන්ධයෙන් ඉක්මන් තීරණයක් නොගත්තොත් ඒ දරුවන්ගෙන් 58,300ක් පමණ මියයාම නියත බවට අපි ඇස්තමේන්තු කරලා තියෙනවා. ...” යැයි කියා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සෝමාලියා නියෝජිත පීටර් ඩි ක්ලාර්ක් පවසා තිබිණ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය කරුණු පහදාදෙන ආකාරයට, සෝමාලියාවේ ජීවත්වන මිලියන 4.7කට ආසන්න තවත් පිරිසකට මානුෂීය ආධාරද අවශ්‍යව ඇත. ඒ හැරුණුවිට නව ලක්ෂ පනස් දහසක තවත් පිරිසක් එදිනෙදා ආහාර වේල සොයා ගැනීමට මහා භාරදූර අරගලයක කරමින් සිටිති. මේ නවලක්‍ෂ පනස් දහසෙන් සෑහෙන පිරිසක් ඒ අරගලයෙන් දිනතාම පරාජය ලබන්නාහ. ඒ අන්දමට පරාජය වන පිරිස අවසානයේදී ආධාර මත පමණක් යැපෙන්නෝ බවට පත්වෙති. ඒ නිසා නියඟයෙන් විපතට පත් සෝමාලි වැසියන්ට ආධාර කිරීම යනු සමස්ත සෝමාලියාවටම ආධාර කිරීමක් හැටියට සැලකුවාට වරදක් නැත.

බටහිර දෙසින් සෝමාලියා දේශසීමාවේ මායිම සකසන ඉතියෝපියාවද එල් නිනෝ තත්ත්වය නිසා හටගත් නියඟයෙන් විනාශයට පත්ව ඇත. ඉතියෝපියා විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ වසර පනහකට පසුව එරටට බලපෑ දරුණුම නියං කාලගුණය මෙය බවයි. ඉතියෝපියාවේ අෆාර් සහ ටයිග්‍රේ පළාත්වලට නියඟය ඉතා තදින් බලපා ඇති බව වාර්තා වේ. දැනට අනාවරණය වන තොරතුරුවලට අනුව ඉන් ඉතියෝපියා වැසියෝ මිලියන 8.2ක පමණ නියඟයෙන් පීඩාවට පත්ව සිටිති. මෙකී පිරිසෙන් මිලියන තුනකට ආසන්න ප්‍රමාණයකගේ බව බෝග විනාශයට පත්ව ඇත. එනිසා ඔවුන්ට කඩිනමින් ආහාර ආධාර අවශ්‍ය බව පැවසේ. කොහොම වුණත් ආධාර අවශ්‍ය පිරිස ඉදිරියේදී තවදුරටත් වැඩිවනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මතය වී ඇත. මේ වසරේ මැද භාගය වනවිට මිලියන 15කට ආසන්න ඉතියෝපියා ජාතිකයන් පිරිසක් ආධාර මත පමණක්ම ජීවත්වන තැනට පත්වනු ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනාවැකි පළකරයි.

1984 වසරේදී ඉතියෝපියාවට බලපෑ නියඟය එරටට බලපෑ තදබලම නියඟය බව එරට වැසියන්ගේ සාමාන්‍යය මතය විණ. 1984 දී ඇතිවුණු නියඟයත් එයින් හටගත් සාගතයත් මිලියනයක පමණ ඉතියෝපියා වැසියන් පිරිසක් බිලිගත්තේය. රටේ සංවර්ධන කටයුතු මුළුමනින්ම අඩාල කර දමන්නටත් ඒ නියඟය සහ සාගතය හේතුවක් විණ. පැවති අසීරුතා මඟ හරවාගෙන යටිතල පහසුකම් සංවර්ධනය ඉදිරියට රැගෙන යන්නට එරට බළධාරීන් ගත් උත්සාහයන් බිඳ දමමින් තිස් වසරකට පසු දැන් යළිත් දරුණු නියං සායක් එරටට බලපෑ තිබේ. ආධාර ලබාදෙන ලෝක සංවිධාන දැන් ප්‍රශ්න කරන්නේ මේ ආකාරයට එකකට පසු එකක් බැගින් දරුණු නියං සාය ඉතියෝපියාවට බලපාන විට එරට සංවර්ධනය කුමන දිශාවකට යොමුවේදැයි කියාය. මේ නියං සහිත කාලගුණය නිසා ඇතිවන හානි මඟ හරවා ගන්නට අමෙරිකා ඩොලර් මිලියන 360කවත් ආධාර එරටට අවශ්‍යය වේයැයි ගණන් බලා ඇත. නමුත්, පුදුමය දැනට පවත්නා තත්ත්වයෙන් ඉතියෝපියා වැසියන් මුදා ගන්නට එයට පළමුව අමෙරිකා ඩොලර් බිලියන 1.4ක ආධාර අවශ්‍යවීමය.

ආධාර අවශ්‍ය සෙසු රටවල් අතර නැමීබියාව, මැඩගස්කරය, මලාවිය සහ තවත් රාජ්‍යය ගණනාවක් ඇති බව පැවසේ. මේසා ආධාර කදරාවක් කියන තරම් ඉක්මනින් දකුණු අප්‍රකා මහාද්වීපය වෙත අද්දවන්නට හැකිවේද යන්න සැකසහිතය. ආධාර හිඟකම සහ ආධාර ලැබීමේ ප්‍රමාදය දකුණු අප්‍රිකා කලාපයේ ජීවත්වන මිලියන ගණනක් අහිංසක මිනිසුන්ගේ මළගමට පාර කපනවා යන්න ඉදින් බොරුවක් නොවේ.

අල්ජසීරා ඇසුරිනි