Thursday, 28 March 2024

කාන්තා දිනය වෙනුවෙන් අගමැති නිකුත් කල පණිවුඩය

Posted On Wednesday, 08 March 2017 07:29

දකුණු ආසියාකරයේ රටවල් සමග සසඳා බලන විට ලංකාවේ කාන්තාවන්ට වැඩි නිදහසක් ලැබී තිබුණද, ලාංකේය කාන්තාවන්ගෙන් වැඩි පිරිසක් ගෘහස්ත කටයුතුවලට සීමා වී සිටීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙහි කාන්තා ප්‍රතිශතය වර්ධනය කිරීමට අප තවදුරටත් කටයුතු කළ යුතුව තිබේ.


ගෘහණියක, මවක, බිරිඳක ලෙස පවුල තුළ සිය කාර්යභාරය ඉටුකරන අතරම, කාන්තාව සතු ශාරීරික, මානසික, අධ්‍යාත්මික ශක්තිය තුළින් විශාල සමාජ මෙහෙවරක් කිරීමේ හැකියාව ඈ සතුය.  ඒ සඳහා අවශ්‍ය නිදහස, පිළිගැනීම, ධෛර්යය සහ අවස්ථාවන් ලබා දිම අප සතු වගකීමකි.  සෑම ක්ෂේත්‍රයකම කාන්තා දායකත්වයේ වර්ධනයක් දැකිය හැකි වුව ද ඇයට සමාන හිමිකම් ලැබෙන්නේද, ගරුත්වය ඇගයීම ලැබෙන්නේද යන්න වගකීමෙන් සිතා බැලීම අවශ්‍යය.

නූතන ලෝකයේ ස්ත්‍රියගේ භූමිකාව මැනවින් අවබෝධ කරගනිමින්, ඒ හා සමතැන් ගත හැකි දිරිය කාන්තාවන් අප රට තුළින් ගොඩනැංවීමට රජය සහ සමස්ත සමාජය එක්ව ක්‍රියා කළ යුතු ය.  "තුන්කල් දකින්නී - සවියෙන් දිනන්නී" යන මෙවර ජාත්‍යන්තර කාන්තා දින තේමාව ඒ සඳහා පුළුල් දැක්මක් සපයනු ඇතැයි අපේක්ෂා කරමි.

තුන්කල් දකිමින් වත්මන් සමාජයේ අභියෝග ජයගනිමින් පෙරටම යන්නට අප රටේ සමස්ත කාන්තාවන්ට ශක්තිය, ධෛර්යය ප්‍රාර්ථනා කරමි.