Thursday, 18 April 2024

උමා ඔය ව්‍යාපෘතිය මගින් සිදුවන හානීය කඩිනමින් විසඳීමට පියවර

Posted On Friday, 30 June 2017 05:10

උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනට උද්ගත වී ඇති තත්ත්වය අවම කරමින් කඩිනමින් ඒ සඳහා අවශ්‍ය විසඳුම් ගන්නා  බව උමා ඔය ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය සුනිල් ද සිල්වා මහතා පවසයි.
 


මෙම ව්‍යාපෘතිය වාරිමාර්ග සහ විදුලි උත්පාදක ලෙස කොටස් දෙකක් යටතේ ක්‍රියාත්මක වන අතර, මෙම ගැටලුකාරී තත්ත්වය උද්ගත වී ඇත්තේ විදුලි උත්පාදක කොටස හා සම්බන්ධ ව බව ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා පැවසීය. මෙම ව්‍යාපෘතියේ වැඩකටයුතු 78%ක ප්‍රමාණයකින් දැනට අවසන් වී ඇති අතර, ප්‍රධාන උමගේ ඉදිකිරීම් කටයුතු සමඟ මෙම ජල කාන්දුව සිදුවූ බවත්, ජලය කාන්දුවීම ආරම්භ වූයේ උමගේ කැණීම් කටයුතු  කිලෝ මීටර් 8.2ක්  කැණීම් කටයුතු සිදුකිරීමේදී බවත් පෙන්වා දුන් ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා එමගින්  ජල කාණ්දුවක් සිදුව ඇති බවත්  වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

අධ්‍යක්ෂවරයා තවදුරටත් පැවසුවේ, මෙම උමගේ කැණීම් කටයුතු  පොළොවට වඩා මීටර් 300ක් යටින් සිදු කෙරෙන අතර, එය යම් යම් ස්ථානවලදී ඉතා කුඩා වෙනස්කම්වලට භාජනය වන බවයි.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේදී ක්‍රමවත් ශක්‍යතා අධ්‍යයනයක් සිදුකරන ලද බව පෙන්වා දුන් අධ්‍යක්ෂවරයා තවදුරටත් පැවසුවේ, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්වත් මණ්ඩලයක් මගින් වසර එකහමාරක කාලයක් තුළ අදාළ අධ්‍යයන කටයුතු සිදු කර 2011 අප්‍රේල් 12 වන දින පාරිසරක අනුමැතිය සඳහා අදාළ වාර්තාව ලබා දුන් බවයි. ඒ අනුව මෙම ව්‍යාපෘතිය ඉතාමත් ක්‍රමවත් ලෙසින් සිදු කර ඇති ව්‍යාපෘතියක් බව අධ්‍යක්ෂවරයා එහිදී තවදුරටත් පෙන්වා දුන්නේය.

මෙම උමා ඔය ජල ව්‍යාපෘතිය මගින් මෙගාවොට් 120ක ජල විදුලිබලාගාරයක් ඉදිකිරීමට අපේක්ෂිත අතර, ඒ ඔස්සේ මොණරාගල දිස්ත්‍රික්කයට වැඩිප්‍රතිලාභයක් හිමිවේ. එමෙන් ම මේ ඔස්සේ හෙක්ටයාර් 6000කට අවශ්‍ය වාරි ජලය ලබාදිමට ද පියවර ගෙන ඇත. එමෙන් ම ඩයරබා වේල්ල හරහා මහ බණ්ඩාරවෙල ප්‍රදේශයට පානීය ජලය ලබාදීමටත්, හම්බගමුව, ඇටම්පිටිය යන ප්‍රදේශවලට ජල අවශ්‍යතා සපුරාලීමටත් කටයුතු යොදා ඇත.  එමෙන් ම මොණරාගල, හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට පානීය හා කර්මාන්ත සඳහා අවශ්‍ය ජලය වසරකට ඝන මීටර් මිලියන 30ක් ලබාදීමටත් මෙමගින් කටයුුතු යොදා ඇත.

දැනට මෙම උමගේ කැණීම් කටයුතු හේතුවෙන් ඇති වී ඇති ජල කාණ්දු තත්ත්වය මත මේ වන විට එම ප්‍රදේශය ආශ්‍රිත ව ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇති බව පෙන්වා දුන්  අධ්‍යක්ෂවරයා තවදුරටත් පැවසුවේ, ලිංවල ජලය අඩුවීම, නිවාසවල ඉරිතාලායාම්, කෘෂි බිම් විනාශ වී යාම් යනාදිය නිසා ගැටලු රැසකට ජනතාව මුහුණ දී ඇති බවයි. මේ වන විට ජනාධිපතිතුමන් විසින් ස්විස්ටර්ලන්තයේ සහ නෝර්වේ රජයේ විශේෂඥ කණ්ඩායම්වල අධීක්ෂණ සහාය ඉල්ලා ඇති අතර, දැනටමත් ඒ සම්බන්ධයෙන් ස්විස්ටර්ලන්ත විශේෂඥ කණ්ඩායමේ වාර්තාව ජනාධිපතිතුමන් වෙත භාරදී ඇති බවත්, නොර්වේ විශේෂඥ කණ්ඩායමේ වාර්තාව ඉදිරියේදී ලබාදීමට නියමිත බවත් සුනිල් ද සිල්වා මහතා පෙන්වා දුන්නේය.

උමා ඔය ව්‍යාපෘතිය ආශ්‍රිත උමගේ කැණීම් හේතුවෙන් මේ වන විට ඒ අවට නිවාස 52ක ක  පුද්ගලයින්ට තාවකාලිකව එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස දන්වා ඇති අතර, ඒ අය වෙනුවෙන් තාවකාලික කුලි නිවාස ලබා ගැනීම වෙනුවෙන් මුදල් ලබා දී ඇති බවත්, අදාළ නිවාස වල වටිනාකම් තක්සේරු දෙපාර්තමේන්තුව මගින් තක්සේරු කළ පසු  ඒවායෙහි වටිනාකම් අදාළ නිවාසලාභීන් වෙත ලබාදීමට පියවර ගන්නා බවද ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා පැවසීය. එමෙන් ම මෙම ප්‍රදේශවල කෘෂි වගා හානිවීම් පිළිබඳ වාර්තා වී ඇති බව පෙන්වා දුන් ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා තවදුරටත් පැවසුවේ, අදාළ වගා හානි පිළිබඳ ව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරයාගේ තක්සේරු වාර්තාවට අනුව එම අධ්‍යක්ෂවරයාට වගා හානි වෙනුවෙන් මුදා හැරීමට රුපියල් මිලියන 370ක මුදලක් ලබාදී ඇති බවයි.

එමෙන් ම මකුල් ඇල්ල, වෙහෙරගල තැන්න, කුරුදු ගොල්ල යන ව්‍යාපෘති මේ වන විට අවසන් අදියවර වල පවති අතර, මේ අවට ආපදාවට පත් වූ පවුල් 2400ක් වෙනුවෙන් අවශ්‍ය ජල සම්පාදනය නොමිලේ ලබාදීමට ද පියවර ගෙන ඇත. එමෙන් ම ජල බවුසර් 41ක් මගින්  ජලය බෙදාදීම සිදු කෙරෙන අතර, පවුල් 2600ක් වෙනුවෙන් ජල ටැංකි 4000ක් ද ජල නළ මීටර් 18000ක් පමණ ද  බෙදා දී ඇති බව ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා පැවසීය.

මෙම උමා ඔය උමගේ කැණීම් කටයුතු සිදු කිරීමේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශය නිරන්තරයෙන් අවශ්‍ය උපදෙස් හා මඟ පෙන්වාදීම් සිදුකරන බව පෙන්වා දුන්  ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා තවදුරටත් පැවසුවේ, මෙම ව්‍යාපෘතිය මගින් සිදුව ඇති මෙම අපහසුතාවය හේතුවෙන්  ව්‍යාපෘතිය අතර මැද නවතා දමන ලෙස කිසිදු විටක ජනතාව ඉල්ලීම් නොකරන ලද බවත්,  ඔවුන් ඉල්ලා සිටියේ මෙම සිදුව ඇති තත්ත්වය කඩිනමින් පාලනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බවත්ය. එසේ හෙයින් සිදුව ඇති තත්ත්වයට කඩිනමින් විසඳුම් ලබා දෙමින් මෙම සංවර්ධන ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව පෙන්වා දුන් ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා ඒ සඳහා අවශ්‍ය සොයා බැලීම් සහ උපදෙස් ජනාධිපතිතුමන්, අගමැතිතුමන්, අමාත්‍යවරයා ප්‍රමුඛ නිලධාරීන් මගින් සිදු කරන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය සුනිල් ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.