Thursday, 25 April 2024

වයස 100 ඉක්මවූ වැඩිහිටියන් ගැන තොරතුරු සොයයි

Posted On Tuesday, 04 July 2017 05:30

ලබන ඔක්තෝම්ර් පළමුදාට යෙදෙන ජාතික වැඩිහිටි දිනය නිමිත්තෙන් උපහාර පිදීම සඳහා වයස අවුරුදු 100 ඉක්මවූ වැඩිහිටියන් හා  දරුවන් 15 දෙනෙකුට වඩා වැඩියෙන් සිටින වයස අවුරුදු 75 ඉක්මවූ මව්පියන් පිළිබඳ තොරතුරු රැස් කිරීම සඳහා ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය කටයුතු යොදා තිබේ.


මේ අනුව එවැනි වයස 100 ඉක්මවූ ජීවත්ව සිටින වැඩිහිටියන් හා දරුවන් 15 කට වඩා සිටින වයස 75 ඉක්මවූ වැඩිහිටියන් පිළිබඳ සියලු තොරතුරු වහාම මේ මස 31 දාට පෙර ළඟම පිහිටි  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබා දෙන ලෙස ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ  අධ්‍යක්ෂ  සුවින්ද සිංගප්පුලි මහතා ඉල්ලා සිටියි.

වැඩිහිටි දින ජාතික  සැමරුම් උත්සවය වැඩිහිටියන් 500 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් ලබන ඔක්තෝම්බර් 01 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා සමාජ සවි බල ගැන්වීම්, සුබසාධන හා උඩරට උරුමය පිළිබඳ ඇමැති එස්.බී දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යක්ෂකවරයා සඳහන් කරයි.

පසුගිය වසරේ මහනුවර පොල්ගොල්ල ජාතික සමූපකාර අධ්‍යන ආයතන ශ්‍රවණාගාරයේදී පැවැති ජාතික වැඩිහිටි දින සැමරුම් උළෙලේදී වයස අවුරුදු 100 ඉක්මවා සිටි වැඩිහිටියන් 150 දෙනෙකු හා දරුවන් 16 දෙනෙකුට වඩා සිටි මව්පියන් 50 දෙනෙකුට උපහාර දක්වා තිබේ.

මෙවර බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වෙන  ජාතික උත්සවය සඳහා කොලඹ ගාලු මුවදොර සිට විවෘත රථ පෙළපාලියකින් බත්තරමුල්ල දක්වා වැඩිහිටි පිරිස් කැඳවාගෙන ඒමට සැළසුම් කර ඇති බව ද ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාල අධ්‍යක්ෂ සුවින්ද සිංගප්පුලි මහතා වැඩිදුරටත් පවසයි.