Thursday, 18 April 2024

ඉරිදා හා පෝය දින ටියුෂන් තහනම් පනතක්

Posted On Wednesday, 02 August 2017 05:20

පෝය දින සහ ඉරිදා දින පස්වරු දෙක දක්වා  පුද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීම පිළිබදව පනත ළඟදීම පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.


අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දිවියට වසර 40 ක් සම්පුර්ණවීම නිමිත්තෙන් තම පුද්ගලික ධන පරිත්‍යාගයෙන් මහරගම ආසනයේ ගැබිනි මවුවරුන් 600 දෙනෙකු සඳහා පෝෂණ මලු බෙදාදීමේ අවස්ථාවට එක්වෙමිනි.

මහරගම තරුණ සේවා සභාවේ පැවති 77 විප්ලවයට වසර 40 යි ප්‍රදර්ශනයට සමගාමිව මෙම උත්සවය පැවැත්විණි. එහිදි තවදුරටත් අදහස් දැක්වු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය.

මේ සම්බන්ධව  ‍මහා සංඝරත්නය ආගමික නායකයින්ගෙන් ද උපදෙස් ලබා ගත් බව සඳහා කළ අමාත්‍යවරයා ඒ අනුව රටේ සියලුම දරුවන් දහම් පාසල් සඳහා යොමු වනු ඇතැයි ද සඳහන් කළේය.

කොතරම් උගතෙක් වුවත් බුද්ධිමතෙක් වුවත් ඔහු හෝ ඇය බුද්ධිමතෙකු වන්නේ ආගමික දැනුමෙන් ලබන පරිචය හා ඔහු ලබා ගන්නා වු ආගමික දැනුම සමග බවත්  ඒ අනුව නිදහස් අධ්‍යාපනයෙන් දරුවන් කෙතරම් ඉහළට ගියත් ඔවුන් ගුණ ධර්මවලින් පෝෂණය වී නොමැති නම් ඔවුන් ලැබු අධ්‍යාපනය ජාතියට නිසි පරිදි ගලා ගෙන නොයන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඒ මහතා ප්‍රකාශ කළේ ආගමික පරිසරයක් තුළ යහපත් දරුවන් බිහි වන බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ වසර 40ක් තුළ සිදු කළ මෙරටේ සංවර්ධන මෙහෙය කුමන දේශපාලන මතයක් දරන අයෙකු වුවද පිළිගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය , ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ , නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ යන මහත්ම මහත්මීන් සහ මහරගම ප්‍රාදේශීය දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.