Thursday, 18 April 2024

ඉදිරියේ දී IVF ප්‍රතිකාර කාසල් රෝහලෙන්

Posted On Tuesday, 26 September 2017 09:10

ලංකාවේ පළමුවරට IVF ප්‍රතිකාර කාසල් වීදීයේ කාන්තා රෝහලෙහි ඇති කිරීම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ අවධානය යොමු ව ඇතැයි ද ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කොට ඇතැයි ද පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ ප්‍රියංගනී සේනාධීර මහත්මිය පැවසුවාය.
 


මේ වන විට IVF ප්‍රතිකාර පෞද්ගලික රෝහල්වල පමණක් ඇති බවත් ඉදිරියේ දී පළතට එක රෝහලක්වත් බැගින් ඉදිකිරීමට කටයුතු කරන බවත් ඒ අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.
 
අද (26)ට යෙදෙන ජාතික පවුල් සැලසුම් දිනට සමඟාමීව ඊයේ (25) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති සැමරුම් උළෙලට එක්වෙමින් සේනාධීර මහත්මිය මේ බව පැවසුවාය.
 
මදසරු භාවය වැනි තත්ත්වයන් සඳහා ලංකාවේ විශාල පිරිසක් ප්‍රතිකාර සඳහා විදෙස් රටවල් වෙත යොමුවන බවත් මෙම තත්ත්වයන් සඳහා විධිමත් සේවාවක් සැපයීම හරහා විශාල විනිමය ආදායමක් ලංකාව තුළ ම රඳවාගැනීමේ හැකියාව පවතින බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය එස්.එස්.පී. ගොඩකන්ද මහතා පැවසීය.
 
ලෝකය පුරා නොසලකා හරින ලද මාතෘ රෝගයන්ගෙන් පළමු ස්ථානයේ මදසරු භාවය පවතින අතර ම ජාත්‍යන්තර වශයෙන් මෙම ආබාධයක් ලෙස පිළිගෙන ඇති බවත් දකුණු ඇමෙරිකාව සිය ආදායමෙන් (ආහාර නොවන කාණ්ඩ යටතේ)  වැඩිපුරම මුදල් ප්‍රමාණයක් වෙන් කොට ඇත්තේ මේ සඳහා ප්‍රතිකාර කිරීමට බවත් එය 40%ක් බවත් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.