Friday, 19 April 2024

තොරතුරු දැනගැනීමේ ජාත්‍යන්තර දිනය අදයි

Posted On Thursday, 28 September 2017 06:02

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර දිනය අදට (28) යෙදී ඇත. එම දිනය සැමරීම වෙනුවෙන් සංවිධානය කළ “ශ්‍රී ලංකාවේ  තොරතුරු දැනගැනීමේ පනතේ ප්‍රායෝගික භාවිතයන්” පිළිබඳ සමුළුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අද කොළඹදී පැවැත්වේ.
 


මෙහිදී “තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත සමාජගත කිරීමේ වැදගත්කම” පිළිබඳ දේශනයක්ද තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවේ සාර්ථකත්වයේ පියසටහන් හා රාජ්‍ය ආයතනයන් මෙම පනත පිළිබඳ ලැබූ ප්‍රායෝගික අත්දැකීම්ද සාකච්ඡා කිරීමට නියමිතය.
 
තවද මෙහිදී තොරතුරු අයිතියෙහි ප්‍රායෝගික භාවිතයන් පිළිබඳ විවිධ පාර්ශවයන් ලද අත්දැකීම්ද බෙදා හදා ගැනීමටද අවස්ථාව ලබා දී ඇත.
 
මෙම අවස්ථාවට හා නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා, අතිරේක ලේකම්වරුන් වන රමණි ගුණවර්ධන මහත්මිය සහ තිලකා ජයසුන්දර මහත්මියද, තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් පියතිස්ස රණසිංහ මහතා ඇතුළු රජයේ උසස් නිලධාරීන් හා බස්නාහිර පළාතේ සියලු රාජ්‍ය ආයතනයන්හි තොරතුරු නිලධාරීන්ද සහභාගී වීමට නියමිතය.