Thursday, 25 April 2024

විදේශීය කිරිපිටි සමාගම්වලට රට ආක‍්‍රමණය කිරීමට ඉඩදෙන්නේ නෑ - ජනපති

Posted On Monday, 06 November 2017 07:22

විදේශීය කිරිපිටි සමාගම්වලට මෙරට ආක‍්‍රමණය කිරීමට ඉඩ නොතබා දේශීය කිරි ගොවියා නඟාසිටුවීමට ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (05) පෙරවරුවේ පොළොන්නරුව, අරලගංවිල ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.
 


ළදරු කිරිපිටි සඳහා සහන ලබා දෙන අතරම, පිටරටින් ගෙන්වන අනෙකුත් කිරිපිටිවලට සීමා පනවමින් දේශීය කිරි කර්මාන්තය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.
 
කිරිපිටි ආනයනය සඳහා වාර්ෂිකව ඉතා විශාල මුදලක් වැය කෙරෙන අතර, එය රටේ ආර්ථිකයට දැඩිව බලපා ඇති බව පැවසූ ජනාධිපතිතුමා ලෝකයේ සංවර්ධනය වූ කිසිදු රටක් අද විදේශීය කිරිපිටි භාවිතා නොකරන බව ද කියා සිටියේය. අද ශ්‍රී  ලංකාව පිටරටින් ගෙන්වන කිරිපිටි වැඩිපුරම භාවිතා කරන රටක් බවට පත්ව ඇති අතර මෙම තත්ත්වය වහා වෙනස්විය යුතු බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
 
මෙම ජනහමුව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ  ජනතාව මැතිවරණවලදී ඡන්දය භාවිතා කළයුත්තේ වංචාවෙන්, දූෂණයෙන් තොර ජනතා නියෝජිතයින් වෙනුවෙන් බවත් රට සංවර්ධනය කළ හැක්කේ පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් තුළින් බවත් ය.
 
රට ඉදිරියට ගෙන යාමේදී තමාට අවශ්‍ය වන්නේ වංචාවෙන්, දූෂණයෙන් තොර අවංක දේශපාලන කඳවුරක් බව ද මෙහිදී ජනාධිපතිතුමා වැඩිදුරටත් අවධාරණය කළේය.
 
ප‍්‍රදේශයේ සිදුවන සංවර්ධන කටයුතු හා එහිදී මතුව ඇති ගැටලු පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.
 
නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න,  ලක්ෂ්මන් වසන්ත පෙරේරා, උතුරු මැද පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය සභාපති ජයන්ත මාරසිංහ, මහින්ද රත්නායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.