Friday, 29 March 2024

ඩෙංගු වෛරසය සම්ප්‍රේෂණය වැළැක්වීමට නව බැක්ටීරියාවක්

Posted On Wednesday, 13 December 2017 05:59

ඔස්ට්‍රියාවේ මොනැෂ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් විසින් හදුන්වා දී ඇති “Wolbachia” බැක්ටීරියාව, ඩෙංගු වෛරසය සම්ප්‍රේෂණය වැළැක්වීම සඳහා යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරිමට නියමිතය.
 


ශ්‍රී ලංකාව තුළ මදුරුවන් මගින් බෝවන රෝග අතුරින් ඩෙංගු රෝගය ප්‍රධාන මහජන සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇත.
 
ශ්‍රී ලංකාව තුළ ඩෙංගු රෝගය පැතිරවීමේ ප්‍රධාන වාහකයා වන්නේ “Aedes aegypti” මදුරු විශේෂයයි. රෝග ව්‍යාප්තිය පාලනය සඳහා පවතින ප්‍රධාන ක්‍රමෝපාය වන්නේ වාහක පාලනයයි. එහිදී වඩා කාර්යක්ෂම සහ පරිසර හිතකාමි වාහක පාලනය සිදු කළ හැකි ජෛව පාලන ක්‍රමෝපායන් ඉතා වැදගත් වෙයි. එම නිසා ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් විසින් හදුන්වා දී ඇති නව බැක්ටීරියාව සමහර මදුරු විශේෂ ද ඇතුලුව ලෝකයේ කෘමි විශේෂ 60 කට වැඩි ප්‍රමාණයක ශරීර තුළ හා ස්වභාවිකව ජීවත්වන බැක්ටීරියාවකි. එහෙත් මෙම බැක්ටීරියාව ප්‍රධාන ඩෙංගු වාහක මදුරු විශේෂය වන  “Aedes aegypti” මදුරුවන්ගේ ශරීරිය තුළ ස්වභාවිකව හමු නොවෙයි. “Wolbachia” බැක්ටීරියාව ආසාදනය වූ මදුරුවන්ගේ ශරීරය තුළ ඩෙංගු වෛරස සම්ප්‍රේෂණ මට්ටම වර්ධනය නොවෙයි. එය මිනිස් ගහනය තුළ ඩෙංගු වෛරසය පැතිරීම සැළකිය යුතු මට්ටමින් අඩු කිරිමට ප්‍රමාණවත් වෙයි.
 
ඩෙංගු රෝගය පැතිරීම වැළෑක්වීම සදහා “Wolbachia” බැක්ටීරියාව ආසාධිත “Aedes aegypti” මදුරුවන් නිදහස් කිරීම ඔස්ට්‍රේලියාව, වියට්නාමය, ඉන්දුනීසියාව, බ්‍රසීලය සහ කොළොම්බියාව යන රටවල සාර්ථකව සිදු කරයි. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ තෝරා ගත් ප්‍රදේශවල ක්ෂේත්‍ර මට්ටමේ අධ්‍යයනයක් සිදු කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබාදිමට මොනෑෂ් විශ්ව විද්‍යාලය කැමැත්ත පළ කර ඇත. ඒ සඳහා ඔස්ට්‍රිලියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ද කැමැත්ත හිමි වි තිබේ. ව්‍යාපෘතිය සඳහා මුල්‍යාධාර ලබාදෙන්නේ ඔස්ට්‍රිලියානු රජය මගිනි. මෙම ව්‍යාපෘතිය අත්හදා බැලීමේ පර්යේෂණයක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්වය සඳහා වන ජාතික, විශේෂඥ කමිටුවේ එකගතාවය ද ලැබී ඇත. ව්‍යාපෘතිය සඳහා ඔස්ට්‍රිලියානු රජය ඩොලර් මිලියනයක මුදලක් ලබාදීමට නියමිතය.
 
බෝවන රෝග අතුරින් පාලන කර ගැනීමට අවශ්‍ය වී ඇති  ඩෙංගු රෝගය පාලනය කිරීමට සුදුසු පියවර කඩිනමින් ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ජාතික ඩෙංගු මර්දන ඒකකයට දැනුම් දී ඇත.
 
2017 වසරේ ගත වූ කාලය තුළ රෝගීන් 177000 ක් වාර්තා වී ඇත. ලබන 22දා ජනාධිපති ඩෙංගු කාර්ය සාධන බලකාය ද රැස්වීමට නියමිතය. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත නව පාසල්වාරය ආරම්භවීමට ප්‍රථමව ත්‍රිවිධ හමුදාව සහ දෙමාපියන් සහභාගි කරවා ගනිමින් මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද කටයුතු යොදා ඇත.