Thursday, 18 April 2024

කොළඹ, රාජගිරිය ගුවන්පාලම ලබන 08දා ජනපති අතින් ජනතා අයිතියට

Posted On Friday, 05 January 2018 05:50

දීර්ඝ කාලයක් පුරා මගී ජනතාව අපහසුතාවයට පත් කරමින් රාජගිරියේ පැවති දැඩි වාහන තදබදයට විසඳුම් ලබාදෙමින්, රාජගිරිය මංසන්ධියේ ඉදිකෙරුණු ගුවන් පාලම මෙම 08දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියට පැවරේ.
 


මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතව තිබුණේ මෙම වසර අවසානයේ වුවද මගී ජනතාවගේ පහසුව සඳහා එහි කටයුතු මාස 11කට පෙර නිම කිරීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පියවර ගැනිණි.
 
ස්පාඤ්ඥ සමාගමක් සහ දේශීය සමාගමක් එක්ව 2016 වසරේ මෙහි ඉදිකිරීම් ආරම්භ කළ අතර, වැයකර ඇති මුදල රුපියල් මිලියන 4700 කි.
 
මංතීරු හතර බැගින් වූ මෙම ගුවන් පාලම දිගින් මීටර් 534 ක් වන අතර මීටර් 180 ක පිවිසුම් මාර්ගයක් ද ඊට ඇතුළත්ය.
 
මීට සමගාමීව අවට මාර්ග රැසක් සංවර්ධනය කෙරෙන අතර නාරාහේන්පිට දෙසට ගමන් කිරීම සඳහා විකල්ප මාර්ගයක් මෙන්ම බුත්ගමුව දෙසට මාර්ගය මංතීරු 03 ක් සහිතව සංවර්ධනය කෙරේ.
 
ඉහළ නවීන තාක්ෂණය යොදාගනිමින් ඉංජිනේරු ප‍්‍රමිතීන්ට අනුකූලව ඉදිකර තිබෙන පාලම යකඩ මත කොන්ක්‍රීට් අතුරා ලංකාව තුළ ඉදිකළ ප‍්‍රථම ගුවන් පාලම ලෙස ද ඉතිහාසයට එක්වන අතර එමෙන්ම ලංකාවේ ඉදිකළ අලංකාරවත්ම ගුවන් පාලම ද වෙයි.
 
දිනකට වාහන ලක්ෂයකට වැඩි ප‍්‍රමාණයක් එහා මෙහා ගමන් කරන රාජගිරිය මංසන්ධිය යනු මෙරට තුළ තිබෙන අධික වාහන තදබදයක් සහිත මංසන්ධියක් ලෙස සැලකේ.
 
මෙම අධික වාහන තදබදය පවතින අවස්ථාවල එම මාර්ගයේ වාහනවල වේගය පැයට කිලෝමීටර් දෙකක පමණ ඉතාම මන්දගාමී තත්ත්වයක පවතින අතර මෙම පාලම විවෘත කිරීමෙන් අනතුරුව රාජගිරිය අවට මාර්ගවල පවතින තදබදය තුරන් වී දැනට පවතින වේග සීමාව අට ගුණයකින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
 
තිරසර සංවර්ධනයේ අරුණළු රටට උදාකර දෙමින්, ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ වත්මන් රජය රට තුළ ක්‍රියාත්මක කර තිබෙන සංවර්ධන වැඩපිළිවෙළේ මාර්ග සංවර්ධනය හා සමගාමීව සිදුවන තවත් එක් සුවිශේෂ ව්‍යාපෘතියක් ලෙස මෙම ගුවන් පාලම හඳුන්වා දිය හැකි අතර මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ගෙනයන වැඩපිළිවෙළේ සුවිශේෂී අවස්ථාවක් ලෙසද සැලකිය හැකිය.