Thursday, 28 March 2024

2018 ගත වූ මාසවල ඩෙංගු රෝගීන් වාර්තාවීමේ අඩුවීමක්- අප්‍රේල් මාසයේ ජාතික මදුරු මර්දන සතියක්

Posted On Wednesday, 07 March 2018 09:59

2018 වසරේ පළමු මාස 02 තුල දිවයින පුරා ඩෙංගු රෝගීන් වාර්තා වීම 2017 වසරේ එම කාලය තුල වාර්තා වූ රෝගීන් සංඛ්‍යාවට වඩා සියයට 50 ක අඩුවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරයි.


කෙසේ වෙතත් එළඹෙන නිරිතදිග මෝසම් වර්ෂාවත් සමග දිවයිනේ නාගරික ප්‍රදේශවල ඩෙංගු රෝගය පැතිරයාමේ අවධානම තවදුරටත් පවතින බැවින් තම තමන්ගේ පරිශ්‍රයන් ආශ්‍රිතව මදුරුවන් බෝවීමෙන් තොරව දිගින් දිගටම පවත්වාගෙන යාම ඉතා වැදගත් වෙයි.
 
එම තත්ත්වය අවම කර ගැනීම සදහා හදුනාගත් දිස්ත්‍රීක්ක 09 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 70 ක් තුල විශේෂ මදුරු මර්දන වැඩසටහන් ජනවාරි මාසයේ දී සහ පෙබරවාරි මසයේ දී ක්‍රියාත්මක කරන ලදි. ඒ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය  වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදිය. එහිදි පරිශ්‍රයන් 147932 පරික්ෂාවට භාජනය කෙරුනි. නිවාස 139230 ක් පරීක්ෂා කළ අතර මදුරු කීටයින් සහිත පරිශ්‍ර 1951 ක් සොයාගෙන ඇත. මීට අමතරව පාසල් හා අධ්‍යාපන ආයතන, රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන, කර්මාන්ත ශාලා ඉදිකිරීම් පරිශ්‍ර, ආගම්ක ස්ථාන, පොදු ස්ථාන පරීක්ෂා කළ අතර, එහිදී මදුරු කීටයින් සහිත පරිශ්‍ර 2241 ක් සොයාගන්නා ලදි. මෙහිදී පාසල්, ඉදිකිරීම් පරිශ්‍ර සහ කර්මාන්ත ශාලා වැඩි අවධානම් ස්ථාන ලෙස හදුනාගෙන ඇත. මදුරු කීටයින් බෝවන සේ පරිශ්‍ර පවත්වාගෙන ගිය 502 කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන ඇත.
 
මේ අතර මදුරු මර්දන ක්ෂේත්‍ර රාජකාරී සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ බදවා ගත් සේවකයින්ගේ කොන්ත්‍රාත් කාලය තවත් වසරකින් දිර්ඝ කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත. එම ක්ෂේත්‍ර නිලධාරීන් 1500 ක් බදවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය. සේවා කාලය දිර්ඝ කිරීම සදහා කැබිනට් පත්‍රිකාවක් සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. මේ වනවිට ඩෙංගු මදුරු මර්දන ක්ෂේත්‍ර සේවකයින්ගෙන් විධිමත් සේවාවක් ඉටුවන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.
 
සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත අප්‍රේල් මස මුල් සතියේ දී ජාතික ඩෙංගු මර්දන වැඩසටහනක් දියත් කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය සැළසුම් කර ඇත.