Friday, 19 April 2024

''ෆියුචර් මයින්ඩ්ස්-2018'' නිල එළිදැක්ම මාර්තු 19 දා

Posted On Thursday, 15 March 2018 08:30

2018 - “ෆියුචර් මයින්ඩ්ස්, උසස් අධ්‍යාපනික සහ වෘත්තීය ප්‍රදර්ශනය නිල වශයෙන් එළිදැක්වීම, මාර්තු (19) සවස 6.30ට කොළඹ ශැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වීමට නියමිතය.


කොළඹ නාලන්දා විද්‍යාලයීය කනිෂ්ඨ ආදී ශිෂ්‍ය සංගමය විසින් අඛණ්‌ඩව දහතුන් වන වරටත් සංවිධානය කරනු ලබන "ෆියුචර් මයින්ඩ්ස්‌ 2018" ප්‍රදර්ශනය ජාතික අධ්‍යාපනික හා වෘත්තීය මඟපෙන්වන ප්‍රදර්ශනයක් ලෙස හැඳින්විය හැකිය.

මෙම ප්‍රදර්ශනය මඟින් උසස් අධ්‍යාපන සුදුසුකම් සොයා යන ශිෂ්‍යයන් හා අපේක්ෂාවන් සහිත තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපන ආයතන, රාජ්‍යයන් හා පෞද්ගලික අධ්‍යාපනික සේවා අතර සන්නිවේදනය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට අවස්ථාව සළසා දෙයි. දිවයිනේ ප්‍රමුඛතම අධ්‍යාපනික ප්‍රදර්ශනයක් ලෙස ෆියුචර් මයින්ඩ්ස් අධ්‍යාපනික සේවා අංශයේ ඉහළ ප්‍රමිතියක් නිර්මාණය කර ඇත.

එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, මලයාසියාව, නවසීලන්තය, රුසියාව, චීනය සහ ඉන්දියාව නියොජනය කෙරෙන විදෙස් විශ්වවිද්‍යාල සහ ඒවායෙහි නිල දේශීය නියොජිත ආයතන150 කට අධික සංඛ්‍යාවක් මීට සහභාගී වීමට නියමිතය.

නොකඩවා වසර දොළහක කාලයක් උසස් අධ්‍යාපන සහ වෘත්තීය ප්‍රදර්ශනයක් ලෙස ජනතාව අතර පැහැදිලි විශ්වාසයක් දිනාගැනීමට ලැබීම ''ෆියුචර් මයින්ඩ්ස්” ලැබූ විශිෂ්ට ජයග්‍රහනයක් වන අතර නව යුගයක් අරඹමින් වඩාත් පුළුල් සහ විශ්වසනීය සේවයක් ලබාදීමට ඔවුහු ඇපකැප වෙති.

මෙම ප්‍රදර්ශනය තුළින් සිසුදරුවන් හට රැකියා අවස්ථා ලබාදීමට වඩා සිය වෘත්තීමය තත්ත්වය ඉහළ නංවාගැනීමට අවශ්‍ය අධ්‍යාපනික පසුබිම සකස් කර ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇත.

ප්‍රදර්ශනයට සමගාමීව උසස් අධ්‍යාපන අවස්ථා සහ වෘත්තීය සැලසුම්කරණය පිළිබඳව සිසුන් දැනුවත් කිරීම සඳහා වෘත්තීය මාර්ගෝපදේශන සහ වෘත්තීය උපදේශන සැසි පැවැත්වීමට ''ෆියුචර් මයින්ඩ්” සූදානම් කර ඇති අතර සිසු පරපුරෙහි භාෂා සහ තොරතුරු තාක්ෂණ හැකියාවන් එළිදැක්වීමට මංපෙත් විවර කර ඇත.

2018 ප්‍රදර්ශන මාලාව කොළඹ බණ්ඩාරනායක පරිශ්‍රයේ ලබන ජුනි 15 , 16 සහ 17 දිනයන්හිදී පැවැත් වේ.

ඉන් අනතුරුව කන්ද උඩරට මහනුවර සිටි සෙන්ටර් පරිශ්‍රයේදී ජුනි මස 22 සහ 23 දිනවල පැවැත්වීමට ද තෙවැනි හා අවසන් ප්‍රදර්ශනය ගාලූ නගර ශාලාවේදී සැප්තැම්බර් 08 සහ 09 දිනවල පැවැත්වීමට නියමිතය.