Friday, 19 April 2024

රෝගවලට ගොදුරුවීම වළක්වාගැනීම වැදගත් - වෛද්‍ය පබා පළිහවඩන

Posted On Monday, 28 May 2018 08:59

මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විවිධ රෝග පැතිරීමට ඇති ඉඩ අවස්ථාව වැඩි බැවින් රෝගවලට ගොදුරුවීම්වලින් ආරක්ෂා වීම ඉතා වැදගත් බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ, වසංගත රෝග විද්‍යාඥ, වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය පැවසුවාය.
 


වෛද්‍යවරිය මේ බව පැවසුවේ අද (28) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
 
පවතින වැසි තත්ත්වය හේතුවෙන් ආහාර ගැනීමේ දී පිසූ ආහාර පමණක් ගැනීමට සැලකිලිමත් වන ලෙසත් පිසූ ආහාරයන් තුළද පරණ වීමේ දී බැක්ටීරියා ක්‍රියාත්මක වීමට ඉඩ අවස්ථා ඇති බැවින් ආහාර පිස හැකි ඉක්මනින් භාවිතයට ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින වෛද්‍යතුමිය අවතැන්වූ ජනතාව වෙනුවෙන් ආහාර පිසීමේ දී මෙන් ම ආහාර ඇසුරුම් ක්‍රියාවලියේ දී සෞඛ්‍ය සනීපාරක්ෂාව පිළිබඳ ව ඉතා සැලකිලිමත් වන ලෙසත් එසේ නොවුනහොත් කරදරයට පත් ව ඇති එම පිරිස් තවත් කරදරයට පත්වීමට ඉඩ ඇති බවත් පෙන්වා දෙයි.
 
ජල පිටාර ගැලීම් හේතුවෙන් ජල මූලාශ්‍රයන් අපවිත්‍රව පවතින මේ අවස්ථාවේ දී පානීය මෙන් ම ජල පරිහරණ කටයුතුවලදී ඉතා සැලකිලිමත් වන ලෙසත් ළිං පිරිසිදු කිරීමේ දී ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සම්බන්ධ කරගැනීමට කටයුතු කරන ලෙසත් නිවෙස් මෙන් සෙසු වෙළඳ ව්‍යාපාරික ස්ථානවල පැවැති ජලය බැස යාමෙන් අනතුරුව හොඳින් පිරිසිදු කරගැනීම මෙන් ම ඒ සඳහා පිරිසිදුකාරක යොදා ගැනීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටී.
 
ගස් කඩා වැටීම් හේතුවෙන් විදුලි රැහැන් පද්ධතීන්ට ද හානි වී තිබිය හැකි බැවින් එවන් ස්ථාන හරහා අපරික්ෂාකාරීව ගමන් නොකළ යුතු බවත් විදුලි කෙටීම් සිදුවන අවස්ථාවන්හිදී ද ආරක්ෂාකාරී ස්ථානයන්හි රැඳී සිටීමට කටයුතු කළ යුතු බවත් පෙන්වාදෙන වෛද්‍යවරිය ප්ලාස්ටික් බෝතල් ඇතුළු කැලි කසල බැහැර කිරීමේ දී නිසි ක්‍රමවේදයන් අනුගමනය තුළින් මැසි මඳුරුවන් බෝවීම මෙන් ම ඒ හරහා සිදුවන රෝගී තත්ත්වයන්ගේ වැඩිවීම වළක්වාගත හැකි යැයි ද පෙන්වා දෙයි.
 
ගංවතුරේ මෙන් ම මඩ වතුරේ ඇවිඳීමට මෙන් ම, තුවාල ආවරණය කිරීම මෙන් ම තම දෙපාවල සීරුමක් හෝ ඇත්නම් ජලයට නොබසින ලෙසත් ඒ හරහා මී උණ බෝවීම වළක්වාගත හැකි යැයි ද වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම හරහා මී උන වළක්වාගත හැකි බවත් ඇඟපත වේදනාව, ඇස් රතුවීම, මුත්‍රා පිටවීම අඩුවීම, ඇස්කහ පැහැ වීම හෝ තද උණ පවතීනම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු බවත් කීය.
 
පාදවල ඇඟිලි අතර දිලීර ආසාදන ඇත්නම් මෙන් ම, පාචනය, ලේ අතීසාරය, උණ, සෙම්ප්‍රතිෂ්‍යාව, කැස්ස, උණ පවතී නම් ගංවතුර පැවති මෙන් ම නොපැවති ප්‍රදේශවල ජනතාව ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසත් අවතැන් කඳවුරුවලට පැමිණෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා, පවුල් සෞඛ්‍ය නිලධාරිනිය හෝ වෛද්‍යවරුන්ට තම තමන්ට ඇති ගැටලු පිළිබඳ ව දැනුම්වත් කිරීමට කටයුතු කරන ලෙසත් ප්‍රසූතිය ආසන්නයේ පසුවන ගැබිණි මව්වරුන් අවතැන් කඳවුරුවල ඇත්නම් ඔවුන් රෝහල් වෙත යොමුවීමට කටයුතු කරන ලෙසත් වෛද්‍යවරිය වැඩිදුරටත් ඉල්ලා සිටී.