Friday, 29 March 2024

ජන කණ්ඩායම්වලට තම තමන්ගේ සංස්කෘතිය බුක්ති විඳීමේ අයිතින් ලබා දිය යුතුයි

Posted On Thursday, 07 June 2018 05:48

විවිධ ජාතීන් විවිධ ජන වර්ග ජීවත් වන රටක් ලෙස අප සියලූ දෙනාටම ගරු කළ යුතුයි. ඒ සියලූම ජන කණ්ඩායම්වලට තම තමන්ගේ සංස්කෘතිය බුක්ති විඳීමේ අයිතින් ලබා දිය යුතුයි යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.


අරලියගහ මන්දිරය පැවති රාමසාන් ඉෆ්තාර් උත්සවයට සහභාගී වෙමින්  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව.

රාමසාන් කාලය මුස්ලිම් ජනතාවට වැදගත් හා විශේෂ කාලයක් ලෙස හැදින්විය හැකියි. දෙවියන් වහන්සේගේ පණිවුඩය මුහම්මද් තුමාට ලැබුණු කාලය අප රාමසාන් ලෙස සිහිපත් කරනවා. ඒ වගේම ආගම ධර්මය සඳහා අලූත් කැපකිරීමක් කිරීමද මේ කාලයේදී සිදු කරනවා. උපවාස කාලය අවසන් කරන්නේ ඉෆ්තාර් උත්සවය හරහායි.


එම නිසා ලෝකයේ ඉස්ලාම් ආගම අදහන සියලූදෙනාටම වැදගත් කාලයක් ලෙස මෙය හැදින්විය හැකියි. ලංකාවේදී මෙම උත්සවය ඉස්ලාම් ආගම අදහන අයට පමණක් සීමා වෙලා නැහැ. ලංකාවේ සියලූම දෙනාට වැදගත් උත්සවයක් ලෙස අප මෙය සළකනවා. අද ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ආගමික උත්සව කාලයක් ලෙස රාමසාන් සමය හැදින්විය හැකියි. විවිධ ජාතීන් විවිධ ජන වර්ග ජීවත් වන රටක් ලෙස අප සියලූ දෙනාටම ගරු කළ යුතුයි. ඒ සියලූම ජන කණ්ඩායම්වලට තම තමන්ගේ සංස්කෘතිය බුක්ති විඳීමේ අයිතින් ලබා දිය යුතුයි.


ලෝකයේ දේශනා කළ ධර්මයන් අතුරින් අවසානයට දේශනා කළ ප්‍රධානතම ධර්මය ලෙස ඉස්ලාම් ධර්මය අද ලොව පුරා ප්‍රචලිත වී තිබෙනවා. මේ රාමසාන් උත්සවය ලෝකයේ සෑම තැනකම සමරනු ලබනවා. ලංකාවේ ජනතාවත් එම රාමසාන් උත්සවයේ ආගමික වැදගත්කම සැමරීමට එකතු වෙනවා. ඉස්ලාම් ජනතාවත්, ඉස්ලාම් නොවන ජනතාවත් සියලූදෙනා එකට එකතු වී එම ආගමට සිදු කරන ගරු කිරීමක් ලෙස අප මෙම උත්සවය සමරනවා.


මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමා ප්‍රමුඛව රජයක් ලෙස මේ රටේ විවිධ ආගම් විවිධ ජන කොට්ඨාශ එකතු කර ගනිමින් ශ්‍රී ලාංකික රාමුව තුළ අප මෙය සමරනවා. අපි ශක්තිමත් විය යුත්තේ ඒ ආකාරයටයි. ලෝකයේ රටවල් ගණනාවක් ශක්තිමත් වී තිබෙන්නේ ඒ ආකාරයටයි. එසේ නොමැතිනම් විවිධ ප්‍රශ්න ඇති වෙනවා. ලංකාවෙත් එවැනි ගැටළු ඇති වුණා.


අවාසනාවකට පසුගිය මාර්තු මාසයේ තෙල්දෙණියේ එවැනි ගැටළුකාරී තත්ත්වයක් මතු වුණා. ජීවිත කිහිපයක් විනාශ වුණා. කෙටි කාලයක් හෝ ඒ ප්‍රදේශයේ නීතිය සාමය කඩා වැටීම පිළිබඳව ආණ්ඩුව කනගාටුව පළ කරනවා. නමුත් එය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට අපි සීඝ්‍රයෙන් පියවර ගත්තා. නැවතත් නීතිය හා සාමය ඇති කළා. ෆේස්බුක් තහනම් කරමින් අවශ්‍ය කටයුතු පාලනය කළා. මේ වන විට කිහිපදෙනෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. තවත් කිහිපදෙනෙක් ඇප මත නිදහස් කර තිබෙනවා. නීතියට අනුව ඒ සම්බන්ධව ඉදිරි වැඩකටයුතු සිදු කරනවා. ඒ වගේම එම ගැටළු සම්බන්ධව විවිධ පරීක්‍ෂණ ගණනාවක් මේ වනවිට අවසන් කර තිබෙනවා. ඒවායේ ලිපිගොනු 100 ට වැඩි ප්‍රමාණයක් නඩු පැවරීම සඳහා නීතිපති තුමාට යවා තිබෙනවා. ගැටළුවක් ඇති වූ අවස්ථාවක නීතිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම හරහා එම ගැටළු නැවත ඇතිවීම වළක්වා ගත හැකියි.

මුහම්මද් තුමා දේශනා කළ ඉස්ලාම් ධර්මය ගරු කරමින්, මෙහි සිටින සියලූම ඉස්ලාම් භක්තිකයින්ට දෙවියන් වහන්සේගේ ආශීර්වාදය ලැබේවා කියා මම අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා.