Friday, 19 April 2024

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය සැමරේ -වසරකට ශ්‍රී ලංකාවේ රුධිර පරිත්‍යාගශීලීන් 450000 ක්

Posted On Thursday, 14 June 2018 09:22

සෑම වසරකම ජුනි 14 දින ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය සැමරීම සිදු කෙරේ.


රුධිර පරිත්‍යාගශීලීන්ගේ උතුම් මෙහෙවර අගයමින් සෑම වසරකම ජුනි 14 දින ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය සැමරේ. එහිදී ඔවුන්ට උපහාරයක් සිදු කෙරේ. රුධිර පරිත්‍යාගශීලීන් පුද්ගලිකව මෙන්ම රුධිර පරිත්‍යාගශීලීන්ගේ කදවුරු සංවිධානය කරන සංවිධායකවරුන්ද ඇගයීමක් මෙහිදී සිදුකෙරේ. මෙවර රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනයේ තේමාව වනුයේ ‘ලේ බිදක් දි ජීවිතයක් බේරමු’ යන්නයි.


දිවයින පුරා මෙවැනි උතුම් කර්තව්‍යයක නිරතවන රුධිර පරිත්‍යාගශීලීන් 1500ක් පමණ එක්රැස් කොට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය  රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඔවුන් ඇගයීමකට ලක් කෙරේ. ශ්‍රී ලංකාවේ වාර්ෂිකව රුධිර පරිත්‍යාගශීලීන් 450,000 ක් පමණ වාර්තා වේ.

එමෙන් රුධිර පාරවිලයන සේවය තුළ ලේ දන්දීම සදහා ලියාපදිංචි වූ පුද්ගලයින් 600,000 ක් පමණ සිටී. එක් රුධිර පරිත්‍යාගශීලි පුද්ගලයකු ලබා දෙන ලේ පයින්ට් 01 කින් ජීවිත තුනක් බේරා ගත හැකියි. සෑම විනාඩි 02 කටම වරක් ලේ පයිනට් 01 ක් අවශ්‍ය වේ. මෙම රුධිරය බොහෝ සෙයින් යොමු වනුයේ හදිසි අනතුරු හා ආපදා තත්ත්වයන් මතයි. මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාව තුල පැවති යුධමය වාතාවරණය නිසාද බොහෝ සෙයින් ලේ අවශ්‍ය විය.

මේ වන විට යුධමය වාතාවරණයක් නොමැති වුවද සෞඛ්‍ය කේෂ්ත්‍රෙය් වූ පුළුල් වීම තුළ සිදුකරනු ලබන ශෛල්‍ය කර්මයන් ප්‍රමාණයද ඉහළ ගොස් ඇත. බයි පාස් සැත්කම් හා වෙනත් අධිතාක්ෂණික හෘද ශෛල්‍ය කර්ම, වකුගඩු බද්ධ කිරීම, අක්මා බද්ධ කිරීම, සහ වෙනත් අවයව බද්ධ කිරීම් බොහෝ සෙයින් ඉහල ගොස් ඇත. මීට පෙර නොවූ ආකාරයට සමහර රෝගි තත්වයන් වලට රුධිරය හෝ එහි සංඝටක භාවිතයට ගනු ලැබේ.

වෛද්‍ය විද්‍යාවේ ශෛල්‍ය රෝග, කායික රෝග, ළමා රෝග හා මාතෘෘ හා දරු ප්‍රසූතියේදීද ලේ අවශ්‍ය වේ .මේ ආකාරයට ශ්‍රී ලංකාවේ රුධිර පරිත්‍යාගශීලීන් නොමිලේ ලබාදෙන මෙම රුධිරය නිසා රෝගීන්ට සිදුවන මෙහෙවර මිලකල නොහැකිය. රුධිරය යනු අවයවයක් වැනිය. එම නිසා අවයවයන් දන්දුන්නා සේ රුධිරය පරිත්‍යාග කිරීම පිළිගනු ලැබේ.

එම නිසා රුධිරය දන් දෙන පුද්ගලයින්ගෙන් ඉටුවන පුණ්‍යකර්මය අතිමහත්ය. ශ්‍රී ලංකාව පුරා සියළුම නගරයකම පාහේ පවතින ප්‍රධාන රෝහල්වලට අනුබද්ධිතව ලේ බැංකු පිහිටා තිබේ. එවැනි ලේ බැංකු 107 ක් දැනට ලියාපදිංචිව ඇත. ජාතික රුධිර පාරවිලයන සේවයේ කාර්යමණ්ඩලය විවිධ ජන කොටස් සමග ඒකරාශි වී මෙවැනි පරිත්‍යාගශීලින් වෙත ගොස් ඔවුන්ගෙන් රුධිරය එකතු කරගනු ලැබේ. පසුගිය කාල වකවානුවේදි ශ්‍රී ලංකාව දකුණු ආසියාතික කලාපයේ උසස්තම ගුණාත්මකභාවයකින් හා සුරක්ෂිතතාවයකින් යුත් රුධිරය, රුධිර පරිත්‍යාගශීලීන්ගෙන් ලබාගෙන රෝගීන්ට ලබාදෙන බවට ජාත්‍යන්තර සම්මාන පවා ලබා තිබේ.

මේ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය විශාල ආයෝජනයක් සිදු කරනු ලබයි. වෛද්‍යවරුන්, හෙද නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, වෛද්‍ය රසායනාගාර තාකෂණ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය 2000 කින් පමණ සමන්විත වූ අප සේවාව දිවයිනේ නන්දෙසින් වූ රුධිර පරිත්‍යාගශීලීන් ගෙන් එකතු කර ලබාගන්නා මෙම රුධිරය නිසා කිසිදු කලක කිසිදු රෝහලක රුධිර හිගයක් ඇති නොවේ. එහෙත් ජාතික රුධිර පාරවිලයන සෙවයෙහි ගබඩා කළ රුධිර සංචිතයන් පහළ යන විට මාධ්‍ය මගින් ඒ බව ජනතාව වෙත දැණුම් දීම සිදු කරයි. ඒ මගින් රුධිරය පරිත්‍යාගශීලී ජනතාව විසින් අවශ්‍ය රුධිර ප්‍රමාණය ලබා දීම සිදු වේ. රුධිර සංචිත අවශ්‍ය ප්‍රමාණයට තබා ගැනීමට හැකියාව ඇති වේ.