Friday, 19 April 2024

උඩරට එළවළු මිල ගණන් ඉහළ යාම ජුලි මාසයේ දී යථා තත්ත්වයට - කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

Posted On Thursday, 28 June 2018 06:07

මේ දිනවල උඩරට වගා කරන එළවළු මිල ඉහළ යාමට හේතුව මධ්‍යම කඳුකරයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හා අධික සුළං තත්ත්වය හේතුවෙන්  එළවළු කොටු විනාශ වීම නිසා බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී ඇත.
 


පසුගිය මාර්තු මාසයේ මැද වන විට මැයි හා ජුනි මාසවල උඩරට එළවළු මිල ඉහළ යා හැකි බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පුරෝකතනයක් කළ බවත්, ඒ සම්බන්ධයෙන් අදාල බලධාරින්  දැනුම්වත් කළ බවත් කෘෂිකර්ම  දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්. එම්. එම්. වීරකෝන් මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබේ.
 
පසුගියදා පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති  “අපි වවලයි-  අපි කන්නේ” වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳව සියලුම ආයතන හා දෙපාර්තමේන්තු සමග අමාත්‍යවරයා සාකච්ඡා කළ අතර එහිදී අමාත්‍යවරයා මෙරට ජනතාව වඩාත් පාරිභෝජනය කරන උඩරට එළවළුවල මිල ගණන් ඉහළ යාම සම්බන්ධයෙන් කරුණු විමසීය.
 
දැනට මාස දෙකකට අධික කාලයක් තිස්සේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය උඩරට එළවළු වගාව කෙරෙහි බරපතල ලෙස බලපෑම් එල්ල කර තිබේ. අධික වර්ෂාව නිසා මධ්‍යම කඳුකරයේ එළවළු වගා බිම් බහුතරයක් කුණු වී විනාශ වී ගොස් තිබේ. එසේම බදුල්ල දිස්ත්‍රික්කයට බලපා තිබෙන දැඩි සුළං තත්ත්වය ද භෝග වගාව බලපෑම් එල්ල කර ඇත.
 
එමනිසා උඩරට එළවළුවල මිල ගණන් ඉහළ ගියද, පහත රට එළවළු මිල කෙරෙහි බලපෑමක් එල්ල වී නොමැත. කෙසේ වුවද දැනට පවතින උඩරට එළවළුවල මිල ඉහළයාම ජුලි මාසය අවසන් වනවිට යථා තත්ත්වයට පත්විය හැකි බවත්, මේ වනවිට යළිත් ගොවි ජනතාව වගා කටයුතු ආරම්භ කර ඇති බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.
 
මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා කියා සිටියේ එළවළු මිල ඉහළ යාම සම්බන්ධයෙන් ජීවන වියදම් කමිටුවේ පවා සාකච්ඡාවට ලක්වු බවත් එහිදී එළවළු මිල ඉහළ යාම පාලනය සඳහා වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට පවා සාකච්ඡා වූ බවත්ය.