Thursday, 28 March 2024

කුස්සියට බඩු හදා ලෝකයේ 8වැනි පොහොසතා වූ කම්ප‍්‍රාද්

Posted On Tuesday, 21 August 2018 05:47

ස්වීඩන් ජාතික ඉන්ග්වාර් කම්ප‍්‍රාද් සාර්ථක ව්‍යවසායකයෙකු වශයෙන් ජාත්‍යන්තර ඇගයීමට ලක්ව තිබේ. ව්‍යවසාය අංශ ගණනාවක සමත්කම් දක්වන ලද හෙතෙම ගෘහ භාණ්ඩ සැලසුම්, නිෂ්පාදනය හා අලෙවිය සම්බන්ධ අලූත් සංකල්ප අනාවරණය කරන ලද දක්ෂ පුද්ගලයෙකි. මාස කිහිපයකට කලින් එනම් ජනවාරියේ මැද හෙතෙම ජීවිතයෙන් සමුගත් අතර ඒ වන විට

ඔහු ලෝකයේ අටවැනි පොහොසත් පුද්ගලයා වශයෙන් ලැයිස්තුගතව සිටියේය. වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 58.7 ක් වශයෙන් සඳහන් විය. පස් හැවිරිදි වියේ දී අසල්වැසියන්ට ගිනිපෙට්ටි අලෙවි කර සුළු ලාභයක් උපයා ගත් කුඩා ඉන්ග්වාර් යොවුන් වියේ දී ව්‍යාපාරික අදහස් පැත්තට සම්පූර්ණයෙන්ම යොමු වීම විශේෂත්වයකි.

කම්ප‍්‍රාද් ස්වීඩනයේ පැරණි ගම්මානයකි. එහි එපමණ පහසුකම් රහිත එහි සාමාන්‍ය පවුලක උපත ලැබීය. එහි ගොවිපොලක් කරගෙන ගිය දෙමව්පියන් අතරින් පියා ඉතාම ලා බාල වියේ දී ජර්මනියේ සිට පැමිණ ස්වීඩන් පුරවැසිභාවය ලබාගත් පවුලක සාමාජිකයෙකු බව දැක්වෙයි. මූලික අධ්‍යාපනය ලබන අවධියේ අමතර ආදායමක් උදෙසා ගිනිපෙට්ටි අලෙවි කරන කුඩා කම්ප‍්‍රාද් පසුව ස්වීඩන් අගනුවර වන ස්ටොක්හොම් බලා ගොස් එහි දී ඉතා අඩු මිලට තොග වශයෙන් මිල දී ගත් ගිණිපෙට්ටි අසල් වැසියන්ට සුළු ලාභයක් මත අලෙවි කරන ව්‍යායාමයක නිරත විය. එය හොඳ ආදායමක් ලබන තැනට පරිවර්තනය වී තිබේ. එයින් නතර වූයේ නැත. මාලූ විකුණා ආදායමක් ඉපැයීය. නත්තල් ගස් හා ඒවායේ සැරසිලි, ගොවිපොල වලට අවශ්‍ය බීජ වර්ග, පෑන් හා පැන්සල් වැනි මෙවලම් විකිණීම දක්වා පුලූල් කර තිබේ. දහ හත් වන වියට එළැඹෙන විට කම්ප‍්‍රාද් ගේ තාත්තා සිය වැඩිමහල් දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් තවත් අමතර වියදමක් යොදවන අතර එම වසරේ දී ම මෙම යොවුන් ව්‍යවසායකයා තමන්ගේ අලූත් ව්‍යාපාරය බිහි කරන්නට සමත්විය. ෂණෑ යනුවෙන් නම් කළ එම ව්‍යාපාරය මගින් ඔහුගේ ඥාතියෙකු නිපදවන මුළුතැන්ගෙයි ගෘහ භාණ්ඩ අලෙවි කිරීම අරඹා තිබේ. ඔහුගේ නමට ඇතුලත් මුල් අකුරු දෙක, ගොවිපොලේ හා සමීප නගරයේ මුල් අකුරු දෙකට එකතු කර අකුරු හතරකින් යුතු අමුතු ව්‍යාපාරික නමක් හදාගත් මෙම දක්ෂ ව්‍යවසායකයා සිය කුඩා ව්‍යාපාරය අරඹා අවුරුදු හතරක් ගතවීමටත් කලින් ස්වීඩනයේ තැන් තැන් වලින් ලැබුණ මුළුතැන්ගෙයි මේස, පුටු වැනි දේ අලෙවිකරන නමක් දිනාගත් තැනැත්තෙක් බවට පත්ව තිබේ. කාර්යශූරත්වය එහි ලා බෙහෙවින් ඉවහල් වන්නට ඇත.

මුළුතැන්ගෙයට අවශ්‍ය ගෘහ භාණ්ඩ වලින් නතර නොවූ ඔහු තමන්ගේම කම්හලක ගෙදරකට අවශ්‍ය දැව මෙවලම් නිෂ්පාදනය ඇරඹීය. ගැනුම්කරුවන්ගේ අවශ්‍යතා ගැන වඩා විමසිල්ල යොමු කරන ඔහු ඒකාකාරී රටා වලට වඩා වෙනස් ලී බඩු ගැන හිතා බැලීය. නිපදවන මෙවලම් ප‍්‍රවාහනය, ඒවායේ නිමාව සමග මුහුණ දෙන ප‍්‍රශ්නයක් විය. අඩු මිලට සපයන්නට ගත හැකි පියවර කල්පනා කළේය. අවසානයේ දී අලූත් අදහසක් ක‍්‍රියාවට නැගිණ. එය අද ලෝකයේ ඉතාම වේගයෙන් ව්‍යාප්තවන ගෘහ හා කාර්යාල මේස, පුටු කබඞ් හා වෙනත් දැව නිර්මාණ සකස් කරන ක‍්‍රමයක් බවට පත්ව තිබේ.

ඉන්ග්වාර් කම්ප‍්‍රාද් ගේ සැලැස්ම අනුව මේසයක අවශ්‍ය සියළු කොටස් එක පාර්සලයක අසුරන අතර එය සවි කිරීමට අවශ්‍ය සියළු ඇන මුරිච්චි ද එහි තිබේ. මිල දී ගන්නා තැනැත්තාට පහසුවෙන් හැසිරවිය හැකි වන අතර වඩු කාර්මික ශිල්පියෙකු ගේ සේවය රහිතව ඕනෑම පුද්ගලයෙකුට එය නිසි පරිදි සවිකර ගැනීමට හැකියාව ලැබේ. එකම ආකාරයේ දැව මෙවලම් වෙනුවට මිල දී ගන්නා පුද්ගලයාගේ කැමැත්ත අනුව වෙනස් කළ හැකි අතිවිශාල මෝස්තර ගණනක භාණ්ඩ ප‍්‍රමාණයක් ඔහු සිය පාරිභෝගිකයන්ට ඉදිරිපත් කළේය. එය ගෘහ භාණ්ඩ නිෂ්පාදනයේ විශාල පරිවර්තනයකට මුල පුරන සාධකයක් වූ අතර නවීන තාක්ෂණය හා අලූත් සංකල්ප මුසු කර අලූත් ජීවන රටාවට ගැලපෙන ගෙදරදොර ගෘහ භාණ්ඩ කලාව ඉමහත් ජනප‍්‍රියත්වයක් අත්පත් කරගත්තේය.

ඉන්ග්වාර් කම්ප‍්‍රාද් ස්වීඩනයේ අය කරන බදු ගැන කනස්සල්ලෙන් පසු විය. තමන්ගේ ම නමට ව්‍යාපාර අරඹනු වෙනුවට ඔහු ව්‍යාපාර කරන පදනමක් පිහිටුවීය. පදනමේ කොටස් ඉන්ග්වාර් ට අයත් වූ අතර මෙම සමාගම නිෂ්පාදන හා අලෙවි කටයුතු කරගෙන ගියේය. 2006 වසර වන විට මෙම පදනම ලෝකයේ ප‍්‍රබලම පුණ්‍ය ආයතනයක් වශයෙන් ඉකොනොමිස්ට් සඟරාව වාර්තා කර තිබුණි. බදු අඩු ලෝකයේ වෙනත් රටවල් ව්‍යාපාර වෙනුවෙන් තෝරා ගත් අතර එමගින් තම ලාභ තර කර ගැනීම වෙනුවට සාමාන්‍ය පංතියේ ජනතාවට දරාගත හැකි මිලට දැව මෙවලම් මිල දී ගැනීමට අවකාශ සැලසීය. කොපමණ ධනය උපයන ලද නමුත් ඉන්ග්වාර් දර්ශනයක් ඇතිව ජීවිතය ඉදිරියට ගෙන යන ලද සාර්ථක පුද්ගලයෙකි. ඔහු පාවිච්චි කළේ වසර විස්සක් පැරණි වොල්වෝ කාරයකි. ජීවිතයේ අවසාන කාලයේ දී ලෝකයේ ධනවත් සමාජයේ පළමු දහ දෙනා අතර සිටි හෙයින් අතිශය සුපිරි වාහනයක ගමන් කළ හැකිව තිබුණ නමුත් හෙතෙම සරල වාහනයක් භාවිතා කිරීමෙන් සතුටට පත් විය. ලෝකයේ රටවල් අතර ගමන් කරන විට ගුවන් යානයේ සාමාන්‍ය පංතියේ ආසන වෙන් කරගත්තේය. ඔහුගේ ඇදුම් මිල අධික ඒවා නොවූ අතර ස්විඩනයේ පොදු වෙළඳ පොලවල විකුණන ඉතාම සාමාන්‍ය තෝරා ගැනීමට බලවත් කැමැත්තක් දැක්වීය. අලෙවි කරන දේ සම්බන්ධයෙන් උසස් තත්ත්වය හා පාරිභෝගිකයාට දරාගත හැකි මිල ගැන සැලකිල්ල යොමු කළ ඉන්ග්වාර් කම්ප‍්‍රාද් ඒවා ජනතාවට දරාගත හැකි මිලකට මිල දී ගැනීම වෙනුවෙන් තම ජීවන දර්ශනය ද සකස් කරගත් බව ඔහු ගැන දක්වන වාර්තා විශේෂයෙන් පෙන්වා දෙයි.

පිරිවැය කළමණාකරනය සහ ධනය උපයන මාර්ග ගැන වෙනස් අදහස් ඇතිව ක‍්‍රියා කළ ඉන්ග්වාර් කම්පාද් තමන් උපයන ධනයෙන් සැහෙන කොටසක් නැවත ලෝකයේ පිළිසරණ අවශ්‍ය පිරිස වෙත නොමසුරුව බෙදා හැරියේය. ජීවිතයේ අවසාන කාලය වන විට ඔහු සතු ව්‍යාපාර ජාලය ලෝකය පුරා ශාඛා හාරසියයකට ආසන්න වී තිබුණි. ඒවායේ දස දහස් සංඛ්‍යාත සේවක පිරිසක් සේවය කරති. 2013 ජුනි මාසයේ දිනක ඔහු සිය සමූහ ව්‍යාපාරයේ සභාපති ධුරයෙන් ඉවත්විය. වැඩිමහල් පුත‍්‍රයාට බලය පවරන ලද අතර අලූතින් කල්පනාකර වෙනස් දෙයක් කරන වගකීම නව පරපුරට භාර කළේය. ඉන්ග්වාර්ගේ ගෘහභාණ්ඩ නිෂ්පාදන කර්මාන්තශාලාවක් ඉන්දියාවට යෝජනා වී තිබේ. ඉතා මැනැවින් සකස් කළ අඩු මිල ගෘහභාණ්ඩ තමන්ටම නිවසේ දී සවිකරගත හැකි අතර ඒවා විදුලියෙන් ධාවනය වන තී‍්‍ර විලර් වලින් පාරිභෝගිකයනගේ අතට ලැබෙන්නට සලස්වන බව දැනට ප‍්‍රකාශ වී තිබේ. එය අලූත් පරම්පරාවේ තවත් පියවරක් විය හැකිය.

19/08/2018 - දේශය

Read 2806 times