Wednesday, 22 November 2017

මේ දවස්‌වල තිබෙන අමුතු රස්‌නය සෙල්ලමක්‌ නොවෙයි - මහාචාර්ය සෙනෙවි එපිටවත්ත

Posted On Saturday, 31 December 2016 16:08

වැසි සමය ඇරඹුණ ද වර්ෂාවකට පසුවත් පරිසරයේ ඇති දැඩි උෂ්ණත්වය පහවී නොයන බව මේ දිනවල බොහෝ දෙනෙකු නඟන චෝදනාවකි. මේ සෑම වසරකම වැඩිම පාරිසරික උෂ්ණත්වය පවතින කාලය වුවත් මෙබඳු තත්ත්වයක්‌ මින් පෙර අත්නොවිඳි බව ද සමහරු කියති. වසර 188 කට පසු

ලෝකයේ ඇති වූ වැඩිම පාරිසරික උෂ්ණත්වය පසුගිය දා වාර්තා වූ බව ඇමරිකාවේ නාසා ආයතනය ද ප්‍රකාශ කර ඇත.

මිනිසාගේ විවිධ පාරිසරික ක්‍රියාවන් හේතුවෙන් ගෝලීය උෂ්ණත්වය ඉහළ යැම නිසා අලුත් පාරිසරික අර්බුදයක්‌ නිර්මාණය වෙමින් පවතින බව මහාචාර්ය සෙනෙවි එපිටවත්ත අවස්‌ථා ගණනාවකදීම දිවයින ඉරිදා සංග්‍රහය සමග පැවැත්වූ සාකච්ඡා තුළින් අනාවැකි පළ කර ඇත. වර්ෂාව ඇරඹුණ ද මේ දිනවල පවතින දැඩි උණුසුම් තත්ත්වය ඒ අලුත් පාරිසරික අර්බුදයේ ආරම්භක සංඥාව විය හැකි බව ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සෙනෙවි එපිටවත්ත පවසයි.

වැසි සමය ඇරඹුණත් මේ දිනවල දිවා කාලයේ මෙන්ම රාත්‍රි කාලයේත් පවතින දැඩි උණුසුමට හේතුව කුමක්‌ද?

මේ තත්ත්වය එකවරම පැනනැගුණක්‌ නෙමෙයි. ගෝලීය උණුසුම ඉහළ යැමත් සමග අත්විඳින්නට සිදුවන මේ තත්ත්වය පිළිබඳ දිවයින ඉරිදා සංග්‍රහය තුළින් මෙබඳු සාකච්ඡාවලදී අපි කීප අවස්‌ථාවකම අනාවැකි පළ කර තිබෙනවා. එම තත්ත්වය යම් තරමකට හෝ පාලනය කර ගැනීමට ඒ අවස්‌ථාවලදී අපි යෝජනා කළ විසඳුම් පිළිබඳ පැවති ආණ්‌ඩු හෝ පරිසර අමාත්‍යාංශය කිසිදු තැකීමක්‌ නොකිරීම නිසා අපේ රටේ ජනතාවට මේ පීඩාකාරී තත්ත්වය බරපතළ ලෙස දැනී තිබෙනවා.

පසුගිය මාර්තු - අප්‍රේල් මාසවල සිට ඉදිරි සති කිහිපයක තුළත් මේ දැඩි පාරිසරික උෂ්ණත්වය පවතින්න පුඵවන්. සාමාන්‍ය මිනිස්‌ සිරුරේ උෂ්ණත්වයට වඩා පරිසරයේ උෂ්ණත්වය වැඩිවීම නිසා ජනතාවට දැඩි පීඩාවකට මුහුණදීමට සිදුව තිබෙනවා. පාසැල් මෙන්ම රජයේ ඇතැම් ආයතනත් වසා දැමීමට පවා සිදුවුණා. ඇතැම් ප්‍රදේශවල ජනතාවට රාත්‍රි කාලයේ නිවාසවලින් පිටත සිටින්නට සිදුවුණා. දැඩි උෂ්ණත්වය නිසා සමහරු ප්‍රදේශ අතහැර ගොස්‌ තිබුණා. මේ තත්ත්වය මේ වසරට පමණක්‌ සීමා වෙයි කියල හිතන්න බෑ. ලබන වසරේදී මේ තත්ත්වය මීටත් වඩා උත්සන්න විය හැකි බවයි ලෝක පාරිසරික විද්‍යාඥයින්ගේ මතය.

සාමාන්‍යයෙන් සෑම වසරකම මාර්තු අප්‍රේල් කාලයේ පාරිසරික උෂ්ණත්වය වැඩියි. නමුත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තාත් ලෝක කාලගුණ වාර්තාත් තුළින් පැහැදිලි වන්නේ වෙනදා මෙම කාලවල පවතින ස්‌වභාවයට වඩා අංශක එකක - දෙකක පමණ උෂ්ණත්වයේ වැඩිවීමක්‌ මේ වසරේ පවතින බවයි. වායුගෝලයේ පවතින ජලවාෂ්ප ප්‍රමාණය වැඩිවීම නිසා මිනිස්‌ සිරුරට දැනෙන උෂ්ණත්වය ප්‍රමාණය වැඩිවී තිබෙනවා. අපට දැඩි අපහසුතාවක්‌ දැනෙන්නේ මේ සංවේදීතාව නිසයි.

කාලයක්‌ තිස්‌සේ පරිසරයට අධික කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණයක්‌ එකතු වීම, වනාන්තර එළිපෙහෙළි කිරීම ආදී හේතු නිසා ගෝලීය උණුසුම වැඩිවිය හැකි බව අවස්‌ථා ගණනාවකදී අපි ප්‍රකාශ කළා. ඒ අලුත් පාරිසරික තත්ත්වයේ ආරම්භක සංඥාවයි මේ වසරේ දී මේ අපට දැනුනේ. ඉදිරි අවුරුදු 25 තුළ පරිසරයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 2-3 කින් වැඩිවීම අනිවාර්යයෙන්ම සිදුවිය හැකි බව ලෝක පාරිසරික විද්‍යාඥයින්ගේ අදහසයි.

අනාගතයේදී මේ තත්ත්වය අපේ රටට බලපාන්නෙ කොහොමද?

අපේ රට දූපතක්‌. පාරිසරික උෂ්ණත්වය ජලයේ උෂ්ණත්වයට වඩා වැඩි වුණහම උණුසුම් වූ ජලවාෂ්ප රට තුළට ගමන් කරනවා. ඒ හේතුව වර්ෂාව අඩුවීමට වගේම ලැබෙන වර්ෂාව තුළිනුත් සිදුවන්නේ උෂ්ණත්වය නිදහස්‌වීමක්‌. මේ ගෝලීය උණුසුම්වීමේ ක්‍රියාවලිය යටතේ අපේ රට දූපතක්‌ වීම නිසාත් අ_බුද ගණනාවක්‌ ඇතිවේවි. බොහෝ වගාවන්ට මේ අහිතකර තත්ත්වය තදින් බලපාන්නට පුළුවන්. කෘමි වර්ග ව්‍යාප්තිය වැඩිවෙන්න පුළුවන්. මේ උෂ්ණත්වයට ඔරොත්තු නොදෙන ජීවීන් වැනසෙන්නට පුඵවන්. උෂ්ණත්වයට ඔරොත්තු දෙන ජීවීන්ගේ ගහණය වැඩීමත් ඔවුන් වැඩිදෙනෙක්‌ පරපෝෂිතයින් වීමත් නිසා බෝග හානි වැඩිවෙන්නත් පුඵවන්. චර්ම රෝග පැතිරී යන්නත් පුඵවන්.

මේ අර්බුදයට අපේ රට මුහුණ දෙන්නෙ කොහොමද?

පසුගිය මාසයක දෙකක කාලයක සිට අපේ රටේ බොහෝ දෙනෙක්‌ දැඩි පීඩාකාරී තත්ත්වයකට මුහුණ දුන්නා. නමුත් රටේ ආණ්‌ඩුවත් පරිසර විද්‍යාඥයෝත් පරිසර අමාත්‍යාංශයත් මේ හැමදාම වෙන සාමාන්‍ය දෙයක්‌ විදිහට හිතල මේ දුෂ්කරතා ගැන කිසි සැලකිල්ලක්‌ යොමු කළේ නෑ. මෙය අනාගතයේ භයානක තත්ත්වයක්‌ ඇතිවිය හැකි අර්බුදයක්‌. මේ පිළිබඳ පාසල් මට්‌ටමින් දරුවන් දැනුවත් කරල මේ තත්ත්වයට අනුගත වීමේ ක්‍රියාමාර්ගයක්‌ අවශ්‍යයි. ලෝකයේ වෙනත් රටවල් මේ තත්ත්වය පිළිබඳ ජනතාව දැනුවත් කරල පාරිසරික උෂ්ණත්වය ඉහළ යාම නිසා අනුගමනය කළ යුතු විශේෂ ක්‍රියාමාර්ග ජනමාධ්‍ය ඔස්‌සේත් ප්‍රසිද්ධ ස්‌ථානවල උපදෙස්‌ සහිත දැන්වීම් තුළිනුත් ජනතාව දැනුවත් කරනවා. අපේ රටේ එබඳු ක්‍රමවේදයක්‌ නෑ.

මේ වසරේ අප්‍රේල් මුල් සතියේ සිට මේ දක්‌වා පවතින මේ තත්ත්වය ලබන වසරේ කොතෙක්‌ කල් පවතීද? විශේෂයෙන් කුඩා දරුවන් සහ වයස්‌ගත පුද්ගලයින් මේනිසා පත්වන භයානක තත්ත්වයෙන් ගලවා ගන්නෙ කොහොමද? ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක්‌ වහා ක්‍රියාත්මක කළ යුතුයි. පරිසරයේ උෂ්ණත්වය ඉහළ යැමත් සමග අඳින ඇඳුම්, කෑම් බීම් ආදියේ සිදුකළ යුතු වෙනස්‌කම් පවා වෙනත් රටවල් ජනතාව දැනුවත් කරනවා. ඇතැම් රටවල වැසිකිළිවල තමන්ගේ මුත්‍රාවල වර්ණයෙන් තමා විජලනයට පත්ව ඇද්දැයි දැනගැනීමට අවශ්‍ය තොරතුරු දැක්‌වෙන පත්‍රිකා ප්‍රදර්ශනය කොට තිබෙනවා. අපේ රටේත් ඇතැම් සමාගම් එබඳු ක්‍රියාමාර්ග අනුගමනය කර තිබෙනු මා දුටුවා. මේවා ව්‍යාප්ත විය යුතුයි. රටේ ජනතාව දැනුවත් කළ යුතුයි.

ලෝකයේ විශිෂ්ට පාරිසරික විද්‍යාඥයකු වන ඡේම්ස්‌ හැන්සන් ලියූ ස්‌ට්‍රොaම්ස්‌ ඔµa මයි ග්‍රෑන්ඩ් චිල්රන් නම් ග්‍රන්ථයෙන් අනාගතයේ ලෝකයේ දරුවන්ට මුහුණදීමට සිදුවන මේ මහා අර්බුදය පිළිබඳ සවිස්‌තරාත්මකව තොරතුරු ඉදිරිපත් කර තිබෙනවා. ගෝලීය උණුසුම් නිසා ඇතිවිය හැකි අර්බුදවලට දීර්ඝකාලීන විසඳුම් සෙවීමට අද බොහෝ රටවල් කටයුතු කරමින් සිටිනවා. නිවාස, මහාමාර්ග සහ වෙනත් සංවර්ධන කටයුතුවලදී ඔවුන් මේ කාරණය සම්බන්ධයෙන් දැන් විශේෂ අවධානයක්‌ යොමු කර තිබෙනවා. නමුත් අපේ රටේ ගස්‌ කපමින්, වනාන්තර හෙළි කරමින්, නිවාස තවාන් හදමින් සිදුකරන අත්තනෝමතික වැඩ නිසා ඉදිරි කාලයේ මේ ප්‍රශ්නය අපේ රටට භයානක තත්ත්වයක්‌ ඇතිකරාවි.

සාකච්ඡා කළේ - පාලිත සේනානායක

Read 261 times

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!