මරණීය දණ්ඩනය නියම කිරිම අපගේ නීතිය යටතේ අදටත් වලංගුව පවතී. එ් වෙනුවෙන් ප‍්‍රතිපාදිත නීතිද තවමත් සක‍්‍රීය නමුත්, අධිකරණය මගින් නියම කරනු ලබන සෑම මරණ දඬුවමක්ම, සිර දඬුවමකට ආදේශ කිරිමක් ලෙස ව්‍යවහාර වේ. මෙම තත්ත්වය ජනාධිපති විසින් මරණ දණ්ඩනය නීති විරෝධී ලෙස අක‍්‍රීය කිරීමකි.
මේ දුෂ්ඨ පිළිවෙත ඇරඹුණේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ වකවානුවේදීය.
හිතාමතා - චේතනාත්මකව කරනු ලබන මිනී මැරීම් හා ඇතැම් මත්ද්‍රව්‍ය විකිණීම - ආනයනය - අපනයනය හෝ සිය සන්තකයේ තබා ගැනීම් වැනි අති දරුණු අපරාධ වලට පමණක්, නීතිය යටතේ මරණීය දණ්ඩනය නියම කරනු ලබයි. එ් හැරුණු විට, හදිසි අවස්ථාවකදී කරන ලද අපරාධ වලට මරණීය දඬුවම අදාල නොවේ. එබැවින් හදිසි ප‍්‍රකෝප කිරීමකින් හටගත් කෝපයෙන් හෝ ආත්මාරක්ෂාවේ සීමාවන් ඉක්මවා හෝ හදිසි ගැටුමකින් හෝ කරන ලද මිනීමැරුම් වලටද - නීතිය යටතේ - මරණීය දණ්ඩනය නියම කළ නොහැක.
එසේ කිරීමෙන් මරණීය දණ්ඩනයට භාජනය විය හැකි බව දකිමින්ම ස්වකීය පියෙවි දැනුමෙන් හා චේතනාවෙන්ම කරනු ලැබූ අති දරුණු වරදකට යම් අයෙකුට මරණ දඬුවම නියම වීම හා ක‍්‍රියාත්මක වීම නිසැකවම සාධාරණ යැයි මම විශ්වාස කරමි.
අනෙකුත් දඬුවම් හා මරණීය දඬුවම ක‍්‍රියාත්මක කිරීමෙහිලා කැපී පෙනෙන වෙනසක් පෙනේ. නිදසුනක් වශයෙන් යම් චූදිතයෙකු ස්වකීය දඬුවම සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් නොකරයි නම් හෝ එවැන්නක් නිෂ්ප‍්‍රභ වන්නේ නම් හෝ තීන්දු කළා වූ දඬුවම - වැඩිදුර විමසීමකින් තොරවම ක‍්‍රියාත්මක කෙරෙනු ඇත. එසේ වන්නේ සිර දඬුවම හා දඩ වැනි දඬුවම් පිළිබදවය.
එහෙත් මරණීය දණ්ඩනයේ අනුගත ක‍්‍රියාපටිපාටිය මීට එකහෙලාම වෙනස්ය.
මා නීතිපති දෙපාර්තමේන්තුවේ සිටි අවධියේදී 1969-1974 අනුගමනය වූ ක‍්‍රියාපටිපාටිය මෙසේ :
යම් චූදිතයෙකුට එරෙහිව මරණ දඬුවම පැන වූ වහාම, එය ක‍්‍රියාත්මක කළ යුතුද නැද්ද යන්න පිළිබඳව නීතිපතිවරයා වෙත නඩුව මෙහෙය වූ රජයේ අධි නීතීඥවරයා විසින් සිය වාර්තාව ඉදිරිපත් කරනු ලබයි. එකී නඩුව විභාග කරන ලද විනිසුරුවරයාද එ් පිළිබඳව වාර්තාවක් ජනාධිපතිවරයා වෙත යවයි. ඉන් අනතුරුව අදාල අභියාචනයේ පෙනීසිටි අධි නීතීඥවරයාද වාර්තාවක් නීතිපතිවරයා වෙත එවනු ලබන අතර, එකී අභියාචනය විභාග කළ විනිසුරු මඬුල්ලේ සභාපතිවරයා විසින්ද වාර්තාවක් ජනාධිපතිවරයා වෙත යවනු ලබයි.
නීතිපතිවරයාද, නඩු විභාගය මෙහෙය වූ රජයේ අධි නීතීඥවරයාගේද අභියාචනයට පෙනී සිටි රජයේ අධි නීතීඥවරයාගේද වාර්තා දෙකම සලකා බලා, එකී මරණ දණ්ඩනය ක‍්‍රියාත්මක කළ යුතුද නැද්ද යන්න ගැන එහුගේ නිර්දේශ අඩංගු සවිස්තර වාර්තාවක් ජනාධිපතිවරයා වෙත යවනු ලැබිණි.
මේ සියළු වාර්තා සලකා බලා අවසාන තීරණයකට එළඹෙන්නේ ජනාධිපතිවරයාය.
නීතියෙන් සලසා තිබුණු ක‍්‍රියාමාර්ගය මෙය වූ අතර, ඉතාම දරුණු අපරාධ කරුවන් බවට මැනවින් සනාථ වූ චූදිතයින්ට විරුද්ධව පමණක් මෙම ක‍්‍රියා මාර්ගය අනුගමනය කිරීමෙන් මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක විණි.
තත්ත්වය සහමුලින්ම වෙනස් වූයේ ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව බලයට පිවිසීමත් සමඟය.
ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති පදවි ප‍්‍රාප්තියෙන් ඉක්බිතිව, ඔහු විසින් ”ධර්මිෂ්ඨ” යැයි හඳුන්වනු ලැබූ පුදුමාකාර ප‍්‍රතිපත්තියට අනුව සිදු වුණේ, එවකට මරණීය දණ්ඩනයට නියම වුණු එක් එක් පුද්ගලයාට අදාල නඩුව ගැන වෙන වෙනම නොවිමසා, එහෙත් සමස්ථයක් වශයෙන් සෑම මරණ දණ්ඩනයක්ම සිර ද`ුඩුවමකට පරිවර්තනය කිරීමය.
මේ අත්තනෝමතික ක‍්‍රියා මාර්ගය නිසා, නීතිය හා අධිකරණය ජේ.ආර්. ජයවර්ධන මගින් හෑල්ලූ වූ බව මගේ විශ්වාසයයි. මන්ද, මරණ දඬුවම තවමත් නීති පොතේ පැවතියත් රටේ විවිධ මහාධිකරණ මගින් විවිධ මිනීමරුවන් හා මත් ජාවාරම් කරුවන් වෙත පනවනු ලබන මරණ දණ්ඩන ක‍්‍රියාත්මක නොවන්නා වූ හුදු රඟපෑමට තත්ත්වයකට ලඟා වී තිබිණි.
මේ හෑල්ලූ වීම හරහා රටේ අපරාධ සීඝ‍්‍රයෙන් වර්ධනය වූ බව ද මගේ විශ්වාසයයි.
මේ තත්ත්වය අඛණ්ඩව පිරිහුණු දසාවෙන්ම ඔබ්බට ඇදී ගියේ, ඉන්පසු බලයට පත් කිසිම ජනාධිපතිවරයෙකුට හෝ, එදා ජේ.ආර්. ජයවර්ධන ගෙනා එ් දුෂ්ඨ පිළිවෙත වෙනස් කරන්නට පිට කොන්දක් හෝ අධිෂ්ඨානයක් එ් කිසිවෙකුට හෝ නොතිබූ බැවිනි.
1989 බලයට පත් ආර්. පේ‍්‍රමදාස ප‍්‍රධාන ආණ්ඩුව, 1992 දී ”අන්තරාදායක ඖෂධ ආඥ පනත” යටතේ ඇතැම් වැරදිවලට පමණක් මරණ දණ්ඩනය නියම කිරිමට ප‍්‍රතිපාදන සලසා ගත්තේ, පැවතියා වූ මරණ දණ්ඩනය කිසිදා ක‍්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයක පැවති නිසාවෙනි.
මෙසේ මරණ දණ්ඩනය ක‍්‍රියාත්මක නොවන තත්ත්වයක තිබියදී වුවත් ඇතැම් වැරදි වලට මරණ දඬුවම නියම කිරීමෙන් සිදු වුනේ ‘විහිළුවක්’ යයි මම සිතමි.
අපරාධ මර්ධනය කරන්නට නම් ජනතාව අතර නීතිය හා අධිකරණය පිළිබඳ ගරුත්වයක් පැවතිය යුතුය.
පෙර ජනාධිපතිවරුනට කළ නොහැකි වූ දෙයක්, වත්මන් ජනාධිපතිවරයා විසින් ඉටු කර තිබේ. එනම් ත‍්‍රස්තවාදීන් යුධමය වශයෙන් විනාශ කිරීමයි. මෙම උදාර කර්තව්‍යය සඳහා ඔහුට පිට කොන්දක්ද, අධිෂ්ඨානයක්ද තිබී ඇති නිසා, එහෙයින් නීතියත් - අධිකරණයත් තව තවත් හෑල්ලූ වීම නවත්වා සීඝ‍්‍රයෙන් වැඩි වන අපරාධ මර්ධනයෙහිලාද හේතු වනු පිණිස, මරණීය දණ්ඩනය යලිත් නීතිය අනුව ක‍්‍රියාත්මක කිරිමට යුහුසුලූ වනු ඇතැයි මම ප‍්‍රාර්ථනා කරමි.