Monday, 20 November 2017

විවෘත වෙළෙඳපොළ, ජනමාධ්‍ය සහ කැසිනෝ ප්‍රාග්ධනය

Posted On Sunday, 01 January 2017 07:41

සමාජ ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට දරන ලද අසාර්ථක ගරිල්ලා ව්‍යාපාර තුනක විනාශයට පසු ධනවාදය දැන් ලංකාවේ නියම ප්‍රමිතියට පැමිණ ඇත.


බාහිර ආකෘතික ප්‍රජාතන්ත්‍රවාදය නාමිකව පිළිගන්නා රනිල් වික්‍රමසිංහ මහතා තම මුදල් ඇමැතිවරයා ලෙස සහ ආර්ථික ඇමැතිවරයා ලෙස තෝරාගෙන ඇත්තේ අසාර්ථක ව්‍යාපාරිකයන් දෙදෙනෙකි. ප්‍රසිද්ධියේ ව්‍යාපාර කරන මිනිසුන් ඇමැතිවරුන් බවට පත් වීම ධනවාදයේ පරිණත ලක්ෂණයකි. දැන් මෙම තත්ත්වය ජනමාධ්‍ය කරා ද විසරණය වී තිබේ.

ලංකාවේ සෑම ජනමාධ්‍යයක්ම ආරම්භ කර ඇත්තේ දේශපාලන අනුග්‍රහය පදනම් කර ගනිමිනි. 77 ට පසු ‘ලංකාදීප’ පත්තර කන්තෝරුව ආරම්භ වූයේ ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා මහවැලි ව්‍යාපෘතිය කළ ‘ස්කන්ස්කා’ විදෙස් සමාගමේ දේශීය නියෝජිත කොන්ත්‍රාත්තුව ‘විජය’ සමාගමට ලබා දුන් නිසාය. එහි දී අතරමැදියා ලෙස ක්‍රියා කළේ ගාමිණී දිසානායක මහතාය. ඊළඟට දිලිත් ජයවීරට සහ වරුණි අමුණුගමට ‘දෙරණ’ නාලිකාව හිමි වූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිවරියගේ අනුග්‍රහය මතය. ඊළඟට ‘දිනකර’ පුවත්පත සඳහා අනුග්‍රහය සැපයූ මහින්ද රාමනායක සහ මර්වින් ද සිල්වාට වෙනම නාලිකාවක් චන්ද්‍රිකා ජනාධිපතිනිය නැවත ලබා දුන් අතර ඉන් එකක හිමිකරුවා වූයේ මනෝ තිත්තවැල්ල මහතාය. එය පසුව නෙත් රේඩියෝව බවට පත් විය. පසුව මර්වින් හරහා ටිරාන් ‘ඉසුර’ නාලිකාව අත්පත් කර ගත්තේය. මීට අමතරව චන්ද්‍රිකා හිටපු ජනාධිපතිනියට ලන්ඩන් නගරයේ දී නවාතැන් පහසුකම් සැපයූ රොනී පීරිස්ට ‘හිරු’ ගුවන්විදුලිය ලබා දුන් අතර එය අතරමැදියකු හරහා රෙනෝ සිල්වා මිලට ගත්තේය. මනෝ තිත්තවැල්ලට ලබා දුන් චැනල් පරාසය ඔහු පසුව විශාල මුදලකට Dialog ආයතනයට විකුණා දැමුවේය. ‘ස්වර්ණවාහිනිය’ සහ ‘සිරස’ යනු ද මුදල් ගෙවා විවෘත වෙළෙඳපොළේ මිලට ගත් තරංග නොවේ. කෙටියෙන් මෙම ඉතිහාසය කීවේ තවමත් සමහරු ‘සුදුප්‍රාග්ධනය’ ගැන කතා කරන නිසාය. ‘රාවය’ පුවත්පත පවා ආරම්භ කිරීමට මුල් ප්‍රාග්ධනය ලබා දුන්නේ ඒ.ටී. ආරියරත්න මහතාය. ඔහුට එකල ජනාධිපති සිහිනයක් තිබිණ. ඉතාම කෙටියෙන් කිවහොත් කිසිවකු රාජ්‍යයට (State) මුදල් ගෙවා කිසිදු චැනලයක් ලබාගෙන නැත. ප්‍රජාතන්ත්‍රවාදය ගැන යටිගිරියෙන් කෑ ගසන අයට පවා රූපවාහිනී චැනල හරහා ජනප්‍රිය වීමට ඉඩ ලැබී ඇත්තේ කළු සල්ලි සුදු කිරීමෙන්ය.

අපට මේ සියල්ල ප්‍රකාශ කරන්නට නිමිත්ත වූයේ ලංකාවේ හෙජ් කළමනාකරුවකු (Hedge Fund Manager) විසින් අලුතින් මාධ්‍ය ආයතනයක් ආරම්භ කිරීම අරබයා මතු වී ඇති විවාදයට යමක් එකතු කිරීමටය. හෙජ් අරමුදල් යනු භාණ්ඩ නිෂ්පාදනය නොකර මුදල්වලින් මුදල් මැවීමයි. මෙම ප්‍රාග්ධනය මූල්‍ය ප්‍රාග්ධනයටත් (Finance Capital) වඩා ද්‍රවශීලය. අදාළ හෙජ් කළමනාකරුවා ලංකාවේ සමාගම් විශාල ගණනක කොටස් කෘත්‍රිම ලෙස උස්සා ඒවා අන් අයට විකුණා ලාභ සොයන්නෙකි. මෙම ක්‍රමය තවම ලංකාවට හුරුපුරුදු නැත. ජෝර්ජ් සොරෝස් යනු රටවල්වල මුදල් ඒකක සමඟ සෙල්ලම් කර අධික ලාභ ලැබූවෙකි. කොටස් වෙළෙඳපොළ ප්‍රවණතා දෙස විෂයබද්ධව වසර 4 ක් පමණ බලා සිටි විට එහි පොදු රටා සොයාගත හැකිය. සොරෝස් බඳු ප්‍රාග්ධන හිමියන් කරන්නේ තම ප්‍රාග්ධනය යොදවා මෙම පොදු රටා ආත්මීයව පාලනය කිරීමයි.

සොරෝස් සහ ලංකාවේ හෙජ් මැනේජර් අතර වෙනසක් ඇත. ලංකාවේ පුද්ගලයා හෙජිං සූදුව කරන්නේ තමන්ගේ මාමාව සහ තවත් බලවත් අයගේ නම් එහාට මෙහාට විසි කිරීමෙනි. ඔහුට රාජපක්ෂගේ පැත්තේ මෙන්ම වික්‍රමසිංහගේ පැත්තේ ද බලවත් පුද්ගලයන් පාවිච්චි කළ හැකිය. මෙවැනි පුද්ගලයකු අලුතින් මාධ්‍ය ආයතනයක් ඇරඹීම අරුමයට කරුණක් නොවේ. මන්ද, ඔහුගේ මාධ්‍ය ආයතනයේ සේවය සඳහා බඳවාගත යුත්තේ පිටරට සුද්දන් නොව ලංකාවේ අරටු බසින ලද පැරණි ඔළුගෙඩි නිසාය. මව්බිම’ට එහා යන පත්තරයක් මේ අයට කළ නොහැකිය. හෙජ් මැනේජර්වරයා යම් දිනෙක ටිරාන් අලස් මෙන් අමාරුවේ වැටීමට ඉඩ ඇත. කිසි කෙනෙක් ලංකාවේ ධනවාදය ක්‍රියාත්මක වන ව්‍යුහය හදාරන්නේ නැති නිසා අවසානයේ දී කෙළවා ගැනීමට නියමිතය.

පසුගිය දිනෙක ‘සත්හඬ’ පුවත්පතේ ප්‍රචාරක කටයුත්තක නියැළී සිටි අපගේ කර්තෘ මණ්ඩල සාමාජිකයකුට විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සාමාජිකයකු ගුග්ලි පන්දුවක් මෙලෙස එල්ල කර ඇත. “සත්හඬ පත්තරයට ප්‍රාග්ධනය එන්නෙ කොහෙන්ද?” මේ ප්‍රශ්නය මඟින් ප්‍රශ්න විචාරකයා මතු කරන්නේ එක පැත්තකින් ‘ප්‍රාග්ධනයේ’ පිරිසිදු බවයි. අනෙක් පසින් ‘ප්‍රාග්ධනයේ’ සුජාතභාවයයි. මිය ගිය නැති කෙනකු සිටින නිවසකින් අබ ඇට ගෙන එන්න යයි කී පරිදි අපට මෙසේ කිව හැකිය. “යහපත්, සුදු පාට, කන්‍යාමයප්‍රාග්ධනයක් අතේ තියාගෙන ඉන්න කෙනෙක්ව අපට පෙන්වන්න” මෙය ‘ලංකා’ හෝ ‘ජනරළ’ (දැනට නැත) සඳහා ද වලංගුය. අද අපට වැඩ කිරීමට නියමිත වී ඇත්තේ ‘ප්‍රාග්ධනය’ සමඟ මිස විශේෂණ පද සමඟ නොවේ. එනම් ‘හොඳ ප්‍රාග්ධනය’, ‘පක්ෂ ප්‍රාග්ධනය’ ‘මුට්ට කර ගසා සොයන ලද ප්‍රාග්ධනය’, ‘පක්ෂ අරමුදල්...’ යනු ද දූෂ්‍ය වූ ප්‍රාග්ධනයයි.

අද දවසේ ප්‍රාග්ධනය ප්‍රසාරණය වන්නේ අද්‍රව්‍යමය ශ්‍රමය හරහාය. ඉන් අදහස් වන්නේ ප්‍රාග්ධනය ශ්‍රමය සූරා නොකන බව නොවේ. අප ඉහත කී හෙජ් මැනේජර්වරයා සෙල්ලම් කරන්නේ EPF සහ බැංකුවල මිනිසුන් තැන්පත් කර ඇති මුදල් සමඟය. මිලියන ගණනක වැටුප් ගෙවීමට අදාළ හෙජ් මැනේජර්වරයාට හැකි වන්නේ ‘අනුන්ගේ මුදල්’ (Other People's Money) නිසාය. එනිසා අද දවසේ මාධ්‍යකරුවා යනු ද අනුන්ගේ ශ්‍රමය සහ මුදල් සමඟ සෙල්ලම් කරන්නෙකි. අද මාධ්‍ය තුළ වැඩ කරන මාධ්‍යවේදියා මාර්ටින් වික්‍රමසිංහ මෙන් නූතනවාදියෙක් නොවේ. සමකාලීන මාධ්‍යවේදියා යනු යථාර්ථය තමන්ට අවශ්‍ය කරන පරිදි ප්‍රබන්ධ කරන පුද්ගලයෙකි. මේ අර්ථයෙන් ගත් විට ඔහු මාධ්‍යවේදියකුට වඩා වේශ නිරූපණ ශිල්පියෙකි. ලැජ්ජාව පිළිබඳ නහරය ෆැක්ටේරියේදීම ඉවත් කර ඇති නිසා ඕනෑම අශ්ලීල දෙයක් ඔහුට කළ හැකිය. ‘මාධ්‍ය’ යන්න තිබූ තැන දැන් තිබෙන්නේ ‘වසඟයයි’.

එනිසා අමුතුවෙන් කලබල වෙන්නට දෙයක් නැත. ලංකාවේ පත්තර කරන්නට සුද්දන් එන්නේ නැත. අලුත් දෙයක් බිහි වන්නේ ද නැත. සිදු විය හැකි එකම දෙය සමහර ක්ෂේත්‍රවල පැවැති ඒකාධිකාරයන්ට යම් ප්‍රතික්‍රියාවක් කළ හැකි වීම පමණි. කෙසේ වෙතත් පුරෝකථනයක් ලෙස මෙසේ කිව හැකිය. අලුත් මාධ්‍ය සමාගමට රංජිත් විජේවර්ධනට අභියෝගයක් දීම පහසු නැත. හෙජ් මැනේජර්ගේ DNA අණුව ගැන ඔහුට මනා වැටහීමක් ඇත. මාමා ගැන බෑණා හොඳින් දන්නවාද? තරගය විවෘතය. මෙම අඳුරු අහස දෙස බලා සිටින ‘සත්හඬ’ අපට යම් දේශපාලන අරමුණක් තිබේ. එය හෙට දවසේ විනාශ වේවිද? අනාගතය විවෘතය.


සත්හඩ පුවත්පතෙන් උපුටා ගන්නා ලදී

Read 260 times

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!