Wednesday, 22 November 2017

හොරකම පිළිබඳ සිවිල් සමාජයේ තේමාව...

Posted On Sunday, 01 January 2017 07:49

සිවිල් සමාජයට අඩුම වශයෙන් තමන් ගැන නිර්වචනයක් තිබේද? වාමාංශික චින්තනය තුළ සිවිල් සමාජය නිර්වචනය වන්නේ උපරි - ව්‍යුහයේ සංස්ථාවන් ලෙසිනි. ලෝකය වෙනස් නොකර ජීවිතයේ තත්ත්වයන් වෙනස් කළ හැකි යැයි සිතන අයට ‘සිවිල් සමාජය’ කියා කිව හැක.


මේ බොහෝ දෙනකු න්‍යායගත කිරීමේ යෙදෙන්නේ මූලික අදහසක් යටි හිතේ රඳවාගෙනය. ඔවුන්ට අනුව සිවිල් සමාජය යන අදහස න්‍යායගත කරන්නේම මාක්ස්වාදයට විකල්පයක් ලෙසය. ඉන් අදහස් වන්නේ රාජ්‍යයේ ආධිපත්‍යයෙන් නිදහස්, ස්වාධීනව සිතන පතන නිදහස් පුද්ගලයන් යන්නය. මේ හේතුව නිසා රාජ්‍යයේ (State) සදාචාරාත්මක ප්‍රකාශනය වන්නේ සිවිල් සමාජයයි. වැටහෙන භාෂාවෙන් දිග කතාවක් කෙටි කර කිව්වොත් තත්ත්වය මෙසේය. ‘රාජ්‍යයේ හොඳ නරක විනිශ්චය කරන්නේ සිවිල් සමාජයයි. එසේ කරන්නට හැකි පුද්ගලයන්ට, රාජ්‍යය ඊට ඉඩ දීම සිවිල් නිදහසයි’ නමුත් රාජ්‍යය සහ සිවිල් සමාජය අතර ප්‍රතිවිරෝධය අද දක්වා කිසිවකුට ජය ගැනීමට ද නොහැකිය. එය විරුද්ධාභාසයකි.

අප කැමැති වුවත් නැතත් සිවිල් සමාජය යනු ආත්මරාගී, පෞද්ගලික අභිලාෂවලින් යුක්ත පුද්ගලයන්ගේ එකතුවකි. සරත් විජේසූරියට හෝ ගාමිණී වියන්ගොඩට හෝ ඇත්තේ පෞද්ගලික අභිලාෂය. නමුත් රාජ්‍ය යන්ත්‍රය යනුවෙන් අදහස් වන දෙය තුළ ඇත්තේ පොදු භාවයයි. එතැන ඇත්තේ සාමූහික අභිලාෂයන් ය. හේගල්ගේ දර්ශනයට අනුව ගත් කල රාජ්‍යය වියැකී නොයන්නේ ඒ තුළ අන්තර්ගත සාමූහික අභිලාෂ නිසාය. ගැටලුව වන්නේ රාජ්‍යයට වඩා සිවිල් සමාජය යම් යම් යුගවල දී වඩාත් ප්‍රගතිශීලී ලෙස පෙනී යන්නේ මන්ද යන්නය.

කෙසේ නමුත් සිවිල් සමාජයේ දේශපාලනික ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වන්නේ රාජ්‍යය මඟින් සහතික කරන ආකෘතික නීති පද්ධතිය මඟිනි. රාජ්‍යය විසින් පිළිගන්නා ආකෘතික නීතිවලින් මිස සිවිල් සමාජයට ආරක්ෂාවක් නැත. නමුත් මේ තත්ත්ව දෙක සමමිතික හෝ සමපාත නැත. උදාහරණයක් ලෙස 94 වර්ෂයේ දී චන්ද්‍රිකා බලයට ආවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අදහස මූලධාර්මිකව පිළිගත් සිවිල් සමාජ භූමිකාවක් කේන්ද්‍ර කරගෙනය. එවකට සිවිල් සමාජයේ නායකයන් බවට පත් වූයේ වාමාංශික දේශපාලනය ගැන ද සංවේදීභාවයක් තිබූ චාල්ස් අබේසේකර, ජයදේව උයන්ගොඩ, සුනන්ද දේශප්‍රිය වැනි මිනිසුන්ගෙනි. නමුත් රාජ්‍ය බලය හිමි වූයේ චන්ද්‍රිකාටය. ඇයත් ඇය වටා සිටි මිතුරන් පිරිසත් රාජ්‍යය මුදල් හම්බ කිරීමට යොදාගත් විගස සිවිල් සමාජයේ භූමිකාව සමාජයෙන් අතුරුදන් වී ගොස් එම අවකාශය, ‘ජනතා විමුක්ති පෙරමුණ’ විසින් පුරවන ලදී. සිවිල් සමාජයට මෙලෙස බලා සිටිනවා හැර වෙන දෙයක් කිරීමට ඉඩක් ඉතිරි වූයේ නැත.

දැන් නැවත ඉහත තත්ත්වය පුනරාවර්තනය වීම ඇරඹී ඇත. දේශපාලනයෙන් හොඳට තෙම්පරාදු වූ රනිල් වික්‍රමසිංහ නමැති නායකයා සමඟ රාජපක්ෂලා පරාජය කිරීමට සිවිල් සමාජ කණ්ඩායමක් ගිවිසුම් ගසා ඇත. 2015 වර්ෂයේ ජනවාරි මාසයේ සිදු වූ අනපේක්ෂිත ජයග්‍රහණයට පසුව රනිල් වික්‍රමසිංහට රාජ්‍ය ආර්ථිකය මෙහෙයවීමේ බලය හිමිව ඇත. ඔහු උත්සාහ කරන්නේ රාජ්‍ය බලය යොදාගෙන 2020 දී ජනාධිපති තනතුර ලබා ගන්නටය. සිවිල් සමාජය ලෙස තමන්ව නිර්වචනය කරගන්නා පිරිසට දැන් තිබෙන්නේ බලා සිටීම පමණි. ඔවුන්ට අමතක වී ඇත්තේ මතවාදය මෙහෙයවීමේ බලය ඔවුන්ට හිමි වූ ඓතිහාසික පසුබිමයි. සිවිල් සමාජයට ඉදිරියට ඒමට හැකි වූයේ පහත මූලික කාරණා දෙක නිසාය.

    යුද්ධයෙන්පසුලංකාවේදේශපාලනපක්ෂසතුසුජාතකරණ හැකියාව දුර්වල වීම.
    වාර්ගික යුද්ධයෙන් රාජ්‍යය ජයග්‍රහණය කළ නිසා බිහිවූ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය.

දැන් රාජ්‍ය බලය හිමිව ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාටය. ඔවුන්ගේ අභිලාෂය සහ සිවිල් සමාජයේ අභිලාෂය වර්ග දෙකකි. රාජ්‍ය බලය හිමි කරගන්නා අයට විවිධ සමාගම් සහ බාහිර රාජ්‍යයන් කොමිෂන් ගෙවයි. උදාහරණයක් ලෙස පසුගිය දා ලංකාව සහ විදේශ රාජ්‍යයක් අතර අත්සන් කළ ගිවිසුමක් නිසා අදාළ ඇමැතිවරයාට හොංකොංහි බැංකුවක් හරහා ගෙවන ලද කොමිෂන් මුදල දළ වශයෙන් ඩොලර් මිලියන 100 කි. රාජපක්ෂ යුගයේ දී  ටෙලිකොම් පැවරීමේ දී සිනමා නිළියකගේ සැමියාට හිමි වූ කොමිෂන් මුදල ඩොලර් මිලියන 200 කි. මේවා නීති - විරෝධී ජාවාරම් නොවේ. ඒවා ධනවාදී සමාජයක සිදු වන හුදු ගනුදෙනු පමණි. මින් සමහර මුදල් පක්ෂ අරමුදල්වලට බැර වෙන බව ද රහසක් නොවේ. සමහරුන්ට හොරකම් කිරීමට ඉඩ දී ඇත්තේ පක්ෂ අරමුදල් සඳහාය. තවත් සමහර අයට හොරකම් කිරීමට ඉඩ දී ඇත්තේ ඔවුන්ව විනාශ කිරීමටය.

තත්ත්වය ඉහත පරිදි නම් රෙද්ද අස්සේ නයි කනවෝ යැයි මරළතෝනි දී වැඩක් නැත. සිවිල් සමාජයට කිසිදා නින්ද නොයෙන තරම් හොරකම්වලට අදාළ ලිපිගොනු අප සතුව ඇත. ඒවා පළ කිරීමෙන් කිසිවකුට සුගතියක් වන්නේ ද නැත. මේ හේතුව නිසා අප කියන්නේ නොදන්නා දේවල්වලට සිවිල් සමාජය අත නොතැබිය යුතු බවයි. ඔවුන්ගේ විෂය ක්ෂේත්‍රය විය යුත්තේ ජාතිවාදයට එරෙහිව ජන මනස සකස් කිරීමයි. නැතහොත් සිවිල් සමාජයේ හොරුන්ගේ ලැයිස්තුවක් පිළියෙල කිරීමට අපට සිදු වේවි. සිවිල් සමාජයට අදාළ ප්‍රධාන චරිත දෙකක ලිපිගොනු අප සතුය.

  සත්හඩ පුවත්පතෙන් උපුටා ගන්නා ලදී


Read 249 times

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!