Tuesday, 16 April 2024

ජනතා යුගයේ ආරම්භකයා

Posted On Saturday, 31 December 2016 07:11

2011 සැප්තැම්බර් මස 26 වන දිනට යෙදෙන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නිර්මාතෘවර එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ ගුණ සැමරුම නිමිත්තෙනි.

ශ්‍රී ලංකාවාසී ජනතාව ජනතා යුගයේ ආරම්භය ලෙස සලකන්නේ 1956 අප්‍රේල් මස 5, 7, 10 යන දිනවල පැවති මහ මැතිවරණයෙන් ජයගෙන 1957- 04-12 දින අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන් බණ්ඩාරනායක මැතිඳුන්ගේ යුගයෙන් පසු ව ඇති වූ කාල පරිච්ඡේදයයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රධාන හවුල්කරු වශයෙනුත්, විප්ලවකාරී ලංකා සමසමාජ පක්‍ෂය භාෂා පෙරමුණ ආදි පක්‍ෂ කිහිපයකින් සහ ස්වාධීන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් සමන්විත මහජන එක්සත් පෙරමුණ එදා බලයට පත් විය. එතුමා 1956 මැතිවරණය සඳහා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වැදගත් පොරොන්දු කීපයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කළ අතර, බොහොමයක් ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් ලැබුණේ නැත. දේශීය ධනවාදීන් ඔවුන්ගේ අභිමතාර්ථ බණ්ඩාරනායක අගමැතිතුමා මගින් සාක්ෂාත් නොවීම නිසා, බෞද්ධ භික්ෂුවක ලෙස පෙනී සිටිය අයකුගේ වෙඩි පහරින් 1959 සැප්තැම්බර් මස 26 වෙනිදා අභාවප්‍රාප්ත විය. එහෙත් එතුමා ආරම්භ කළ නිර්ධන පන්තිය ආර්ථික, සාමාජිය හා දේශපාලන අර්ථයෙන් නඟාසිටුවීමේ මහා සටන් ව්‍යාපාරය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඊළඟ භාරකරුවන් විසින් දහසකුත් එකක් මාරක බාධක මධ්‍යයේ ක්‍රියාත්මක කළේය.

1948 පෙබරවාරි 04 වෙනිදා නෛකශ්‍රීන් විරාජමාන මහා බ්‍රිතාන්‍ය කිරීටයෙන් ලැබුණු නිදහස ලේ බිඳක්වත් නොසොල්වා ලබාගත්තේ යැයි එවකට බලයේ සිටි එක්සත් ජාතික පක්‍ෂය උදම් ඇනීය. එහෙත් එදා ජනතාවට අවශ්‍ය නිදහස කවදාවත් නොලැබුණ බැව් පැරැන්නන්ගේ මතය වී තිබුණි. දේශීය භාෂා, රාජ්‍ය භාෂා බවට පත් කිරීම බණ්ඩාරනායක අගමැතිතුමන්ගේ ප්‍රථම කාර්යය විය.

එහි පළමු අදියර ලෙස සිංහලය රාජ්‍ය භාෂාව කිරීම සිදුකළ අතර, දෙමළ භාෂාවේ සාධාරණ පාවිච්චිය පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නමුත් විපක්‍ෂයේ සහ සමහර සිංහල බෞද්ධ සංවිධානවල විරෝධතාව නිසා තාවකාලික ව යටපත් විය.

සිංහලය රාජ්‍ය භාෂාව කිරීම පිළිබඳ ව මෙන් ම එතුමාගේ දේශීය භාෂා ප්‍රතිපත්තිය අද විවේචනයට ලක්කරන්නෝ එය වසර 30 ක යුද්ධයකට හා ජනවාර්ගික අර්බුදයට තුඩු දුන් බැව් ප්‍රකාශ කරති. එහෙත් එතුමන් ඔක්ස්ෆර්ඩ් සරසවියේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රදේශවාසීන් පැවැත් වූ කළගෙඩිහේනේ පිළිගැනීමේ උත්සවයේදී 1925 මාර්තු 03 වෙනිදා කැඩිච්ච සිංහලෙන් කියා සිටියේ “මම අද ඔබට තේරුම්ගත හැකි භාෂාවෙන් දක්‍ෂ ලෙස කතා කිරීමට නොහැකිවීම ගැන ඔබගෙන් සමාව ඉල්ලා සිටින අතර, මාස 03 ක් ඇතුළත ඒ අඩුපාඩුව මඟහරවා ගන්නා බවත් කියනවා” යැයි කී කියමනෙන් එතුමාගේ අභිලාෂය කුමක්දැයි මොනවට පැහැදිලි වේ. හැරත් එතුමා 1945 ජනාවරි 19 වෙනිදා රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළ “නිදහස් ලංකා” ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනතේ ස්වදේශීය භාෂා පාවිච්චිය ඉහළින් ම පිළිගෙන තිබුණි.

කිසිදු ලෝක බලවතෙකුට පක්‍ෂපාතීත්වය දැක්වීම එතුමාගේ ප්‍රතිපත්තිය නොවීය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නොබැඳුණු විදේශ ප්‍රතිපත්තියේ ආරම්භකයා බණ්ඩාරනායක අගමැතිතුමාය. එතුමා කොමියුනිස්ට් රාජ්‍යයන් වන රුසියාව හා චීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ඇතිකර ගත් අතර, ත්‍රිකුණාමලයේ සහ කටුනායක පිහිටි එක්සත් රාජධානියට අයත් යුද කඳවුරු ඉවත් කිරීමට සුහද සාකච්ඡා මාර්ගයෙන් ක්‍රියා කළේය.

ධනෝපායන මාර්ග සීමිත සංඛ්‍යාවක් දෙනා හට නොතිබිය යුතු බවත් ඒවා පොදු ජනයා අතර ගලා යාමට සැලැස්විය යුතුය යන විශ්වාසයේ පිහිටා ප්‍රධාන පොදු සේවා ව්‍යාපාරික ආයතන ජනසතු කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කළ එතුමා 1958 වන විට වරාය හා මාර්ග ප්‍රවාහනය ජනසතු කර රජයේ පාලනය යටතේ වූ මණ්ඩලවල අධීක්‍ෂණයට පවරා දීමටත් ක්‍රියා කළේය. ඉඩම් හිමියන් විසින් සූරාකෑමට ලක්කරනු ලැබූ අඳ ගොවියා නිදහස් කර දහඩිය මහන්සියෙන් උපයන ධනයට වැදගත්කමක් ලබාදෙමින් කුඹුරු පනතේ විධිවිධාන එළිදැක්වීමට දිවංගත පිලිප් ගුණවර්ධන මැතිතුමන් සමඟ එක් ව ක්‍රියාකර සාර්ථක ව එම කාර්යය ජයග්‍රහණය කළේය.

1899 ජනවාරි මස 08 දින ඉපදී, ගල්කිස්ස සාන්ත තෝමස් හා මහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් ඉගෙන බැරිස්ටර්වරයෙකු වූ එතුමා වේයන්ගොඩ මන්ත්‍රීවරයා ලෙස රාජ්‍ය මන්ත්‍රණ සභාවට නිතරගයෙන් තේරී පත් විය. එතුමන් 1951 ජූලි 12 තමන්ගේ අභිලාෂයන් එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉටු නොවන බැව් දැන ඉන් ඉවත් වී විරුද්ධ පක්‍ෂයේ අසුන් ගත්තේය. එදා ම එතුමන් සමඟ බෙලිඅත්ත මන්ත්‍රී ව සිටි ඩී. ඒ. රාජපක්‍ෂ මැතිතුමා ද එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් ව විරුද්ධ පක්‍ෂයේ අසුන් ගත්තේය.

1959 සැප්තැම්බර් 26 වෙනිදා එතුමා ඝාතනය කිරීමෙන් “තිත” තැබුවා යැයි සිතා සිටි ධනපති පංති අභිලාශයන් යටපත් කරමින් 1960 ජූලි මැතිවරණයේදී එතුමාගේ ආදරණීය බිරිඳ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රතිපත්ති අකුරට ම ක්‍රියාත්මක කිරීමට සමත් වූවාය. 1960 – 65 දක්වාත්, 1970 – 1977 දක්වාත් කාලපරිච්ඡේදයන් දෙකකදී කළ නොහැකි වූ ඉතිරි කටයුතු 1994 දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ බලයට පත්කිරීමෙන් හා 2004 දී එක්සත් ජනතා නිදහස් සන්ධානය බලයට පත් කිරීමෙන් සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලාංකීය ප්‍රගතිශීලී ජනතාව සමත් වූහ.

සිය අනභිභනීය නායකයාගේ විදේශ ප්‍රතිපත්තිය 1960 – 1965, 1970 – 1977 හා 1994 – 2011 යුගවලදී අකුරට ම පිළිපැදීම නිසා වසර 30කටත් වඩා ඔද්දල් වී ගිය ජනවාර්ගික යුද්ධය හා අර්බුදය සදාකාලික ව නොනැගිටින සේ අවසන් කිරීමට බණ්ඩාරනායක මැතිතුමාගේ විදේශ ප්‍රතිපත්ති අකුරට ම පිළිපදින අප පක්‍ෂයේ වර්තමාන නායකත්වයට හැකි විය.

එහෙත් ලෝක ධනවාදයත්, දේශීය ධනවාදයත් එකට බැඳී ඇති නිසා ඒවා පහසුවෙන් යටපත් කිරීම වූ කලී මහමෙරටත් වඩා බරපතළ කාර්යයකි. මානව හිමිකම් ආදී නෙයෙක් පාට පාට ඇඳුම් ඇඳගෙන එන ලෝක ධනවාදී ව්‍යාපෘතින් ඇතත් මහින්ද චින්තන ප්‍රතිපත්ති ඔස්සේ ක්‍රියා කරමින් නිසා ජයග්‍රහණය කරා මෙහෙයවීම රට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නිර්මාතෘවරයාගේ අකල් මරණය හේතුවෙන් පක්‍ෂය හා පාක්ෂිකයන් අතරමං නො වූ බැව් පසක් කරන්නේය.

බණ්ඩාරනායක සිරිමතාණනි, ඔබතුමන් තවත් ප්‍රගතිශීලීන් ගණනාවක් සමඟ ආරම්භ කළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය යුගයේ අවශ්‍යතා අනුව මෙහෙයවීමට හපන් අය අතට පත්වී ඇත. එම මෙහෙවර අපි සාර්ථක ව ඉටු කරමු.

නිර්මාතෘතුමාණන්ට නිවන් සුව අත්වේවා!

මෛත්‍රීපාල සිරිසේන
ප්‍රධාන ලේකම්,
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය.

Read 2061 times