Wednesday, 22 November 2017

ලක්දිව බොදු පුබුදුවේ පහන් ටැඹක්: ශ්‍රීමත් සිරිල් ද සොයිසා

Posted On Saturday, 31 December 2016 07:49

මෙරට පහළ වූ ශ්‍රේෂ්ඨ ජන නායකයින් අතුරින් අද්විතීය ස්ථානක් හිමිවන ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමාගේ 120 වෙනි ජන්ම සංවත්සරය පවත්වන මේ අවස්ථාවේදී එතුමාගේ ගුණ මහිමය විස්තර කරමින් මෙවැනි සැමරුම් ලිපියක් ලිවීමට අවස්ථාව ලැබීම මා ලත් භාග්‍යයක් ලෙස සලකන අතර, මේ අවස්ථාව මට ලබාදීම මාවෙත පිරි නමන ලද උපහාරයක් ලෙස මම සලකමි.


‍‍බොහෝ ජන නායකයෝ තමන්ගේ ක්ෂේත්‍රයට අදාළව තම සේවාවන් ජාතියට ලබාදීම නිසා ජාතික වීරයන් ලෙස නම් කරනු ලබති. ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමා ගැන සඳහන් කරන විට නිතැතින්ම ඉස්මතු වන්නේ බෞද්ධාගම නඟා සිටුවීම සඳහා එතුමා විසින් ඉටු කරන ලද සේවාවන්ය. එහෙත් එතුමාගේ සේවාව එම ක්ෂේත්‍රයට පමණක් සීමා නොවීය. ශ්‍රී ලංකාවේ ආර්ථික, අධ්‍යාපනික, දේශපාලන, ක්‍රීඩා ආදී විවිධ ක්ෂේත්‍රයන් සඳහා එතුමා ලබාදුන් සේවාව අමතක කළ නොහැකි වන අතර, ඒ කිසිම ක්ෂේත්‍රයකදී එතුමා කිසිවෙකුට දෙවෙනි නොවූ බවද විශේෂයෙන් සඳහන් කළ යුතුය.

බලපිටිය ප්‍ර‍ෙද්ශයේ වැලිතර ග්‍රාමයේදී 1896 ඔක්තෝබර් මස 26 වැනි දින උපන් එතුමාගේ දෙමවුපියන් වූයේ සොලමන් ද සොයිසා නොතාරිස් රාලහාමි සහ හැරියට් ද සොයිසා මැතිනියයි. මාතර ශාන්ත තෝමස් හා ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලවල අධ්‍යාපනය ලැබ කේම්බ්‍රිජ් සීනියර් විභාගය සමත්වීමෙන් පසුව නීති විද්‍යාලයට ඇතුළත් වූ එතුමා නීතිඥ වෘත්තියේ යෙදීම සඳහා තෝරාගනු ලැබුවේ කළුතර නගරයයි. එතුමාගේ නාමය අමරණීය වීමට හේතු වූ කළුතර බෝධියේ සංවර්ධනයට, එතුමා කැප වන්නේ ඒ ආගමනයත් සමඟිනි.

1930 ගණන් වලදී කළුගඟට දකුණු දෙසින් පිහිටි භූමියේ ගාලුපාරට නැ‍ඟෙනහිර දෙසින් පිහිටි බිමෙහි දිසාපති නිල නිවාසය හා කළුතර කච්චේරිය ඇතුළු රජයේ ආයතන පිහිටා තිබුණ අතර ගාලුපාරට බටහිර දෙසින් ඇති පහළ මළුව වශයෙන් හැඳින්වෙන ස්ථානයේ අනාරක්ෂිතව පැවති බෝධියට ප්‍රදේශවාසීන් විසින් පුද පූජා පවත්වා ඇත. මෙම ස්ථානයේ වටිනාකම හඳුනාගත් සිරිල් ද සොයිසා මැතිතුමා මෙහි මල් ආසනයක් ඉදිකරවීමෙන් පසුව මෙම භූමියේ සංවර්ධන කටයුතු ආරම්භ වී ඇත. එම සංවර්ධන කටයුතු ඉටු කිරීමේදී එවකට දිසාපති බංගලාවේ පදිංචිව සිටි සුදු ජාතික දිසාපතිවරයාගෙන් ද විටින් විට බාධා එල්ලවී ඇත. එහෙත් නීතිඥයෙකු වූ සිරිල් ද සොයිසා මැතිතුමා ඒ සියල්ල මැඩ පවත්වා ගනිමින් කළුතර බෝධිය අද පවත්නා තත්ත්වයට පත් කරලීමට ඉමහත් වෙහෙසක් දරා ඇත. ‍‍‍

මෙම ස්ථානයේ පාලනය ගෙනයාම සඳහා “කළුතර බෝධි භාරකාර මණ්ඩලය” පිහිටුවීම එතුමා විසින් ගන්නා ලද ඉතාම දූරදර්ශී පියවරකි. මෙම භාරය පිහිටුවා ලියාපදිංචි කිරීමෙන් ඒ සඳහා නීත්‍යානුකූල භාවයක් ලබාදී ඇති අතර, පාලන කටයුතු ගෙනයාම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග එහි මැනවින් සඳහන් කර ඇති බැවින් මෙම ස්ථානයේ පාලනය ඉතාමත් විනිවිද භාවයකින් යුතුව කර ගෙනයාමට අවස්ථාව සැලසී ඇත. එවකට මෙරට තුළ කීර්තිනාමයන් දැරූ, ඊට පිළිගත් විද්වතුන් 8 දෙනෙකු සාමාජිකයින් ලෙස පත් කරමින් බෝධි භාරකාර මණ්ඩලය ස්ථාපනය ‍කොට ඇත. මේ ස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා එතුමාගේ පෞද්ගලික ධනය විශාල වශයෙන් වැය කර ඇති අතර, බැතිමත් ජනතාවටද සහභාගි විය හැකි වන පරිදි “පිංකැට” මඟින් පුණ්‍යාධාර ලබා ගැනීමට කටයුතු කරන ලදී. මෙම පූජනීය ස්ථානය ක්‍රමයෙන් දියුණුවට පත්වන විට යාබද කළුතර නගර සභා කාර්යාලය පිහිටි ඉඩමද මේ සඳහා ලබා ගැනීමට කටයුතු කරන ලදී. ඒ සඳහා දැනට ද කළුතර නගර සභාව පවත්වාගෙන යන ගොඩනැඟිල්ල, නගර සභාවට ඉදිකරදී එම ඉඩමද නිදහස් කර ගෙන සංවර්ධනය කර ඇත.

වසර 2300ක් පමණ පැරණි අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ, දෙතිස් ඵලරුහ බෝධීන් වහන්සේ නමක් බව විශ්වාස කර ප්‍රධාන පාරට නැ‍ඟෙනහිර දෙසින් කඳුගැටය මත පිහිටා ඇති බෝධීන් වහන්සේ සහිත භූමිය නිදහස් කර ගැනීම සඳහා එම ඉඩමේ තිබුණ කළුතර දිසාපති මැදුර හා කච්චේරිය වෙනුවට සිරිල් ද සොයිසා, මැතිතුමාට අයත් පෞද්ගලික නිවසක් සහ නාගොඩ ප්‍රදේශයේ පිහිටි ඉඩමක් ලබා දී ඇති අතර, එහි කළුතර කච්චේරිය සඳහා අදාළ ගොඩනැඟිලි ඉදිකර දීමෙන් පසුව 1970 වර්ෂයේදී එම ඉඩම නිදහස් කරගෙන ඇත. දැනට එම භූමියේ ඉදිකර ඇති දර්ශනීය වටදාගෙය සහිත චෛත්‍ය කළුතර නගරයටම අලංකාරයක් වන අතර, කළුතර හඳුන්වනු ලබන ප්‍රධාන සංකේතය බවට ද පත්ව ඇත. එසෙම් කළුතර බෝධි භාරකාර මණ්ඩලය විසින් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා අදටත් ඉදිරියටත් ඉටු කරවනු ලබන සේවාව අගය කළ යුත්තේ එතුමාට පුණ්‍යානුමෝදනා කරවමිනි.

මීට අමතරව ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රබෝධය හා බුද්ධ ශාසනයේ චිරස්ථතිය වෙනුවෙන් එතුමන් විසින් ඉටු කරනු ලබන සේවාවන් වචනයෙන් කියා නිම කළ නොහැකි තරම්ය.

කතරගම ඓතිහාසික කිරිවෙහෙර ප්‍රතිසංස්කරණ කටයුතු අඩපණ වී ඇණහිට තිබූ අවස්ථාවේ එතුමා කිරි වෙහෙර ප්‍රතිසංස්කරණ සමිතියේ සභාපතිත්වය භාරගෙන පෞද්ගලිකව එම කටයුතු මෙහෙයවමින් එම කාර්ය නිමකරවා ඇත. 1960 සිට 1978 දක්වා කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති වශයෙන් පුරා අවුරුදු 19 තිස්සේ කටයුතු කළ කාලය තුළ කොළඹ කොටුවේ තරුණ බෞද්ධ සමිති ගොඩනැඟිලි සංකීර්ණය හා බොරැල්ලේ තරුණ බෞද්ධ සමිතියේ ප්‍රධාන කාර්යාල ගොඩනැඟිලි සංකීර්ණය ඉදිකරවීමට ද කටයුතු කර ඇත.

අලුත්ගම කන්දෙවිහාරය, පාණදුර පිංවත්ත සද්ධර්මාකර පිරිවෙන, බම්බලපිටිය වජිරාරාමය, හුණුපිටිය ගංගාරාමය, බෙල්ලන්විල රජ මහා විහාරය, කුප්පියාවත්ත ජයශේඛරාරාමය වැනි විහාරස්ථාන රාශියක සංවර්ධන කටයුතු සඳහා ආධාර වශයෙන් ලබා දී ඇත. ලන්ඩන් බෞද්ධ විහාරය සහ සැවැත්නුවර ආනන්ද බෝධියේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ද එතුමා මැදිහත් වී ඇත.

මහා බෝධි සංගමය, තරුණ බෞද්ධ සංගමය, සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනය වැනි බෞද්ධාගමික සංවිධාන වල අනුශාසක / සභාපති වැනි තනතුරු දරමින් ක්‍රියාකාරීව සහභාගී වූ එතුමා දිවයිනේ පිරිවෙන් රැසක තිබූ අඩුපාඩු සොයා බලා ඒවා සපුරාලීමට නොමසුරුව පරිත්‍යාගයන් ලබා දී ඇත.

එසේම දහම් පාසල් සිසුන්ට නොමිලේ පෙළ පොත් බෙදා දීම එතුමා විසින් ආරම්භ කළ අතර දිවයිනේ දහම් පාසල් අධ්‍යාපනය නඟා සිටුවීම මඟින් කුඩා අවධියේ සිටම දරුවන්ට දහම් දැනුම ලබාදීම ව්‍යාප්ත කිරීමට කටයුතු කර ඇත.

මේ අනුව බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට හා නඟා සිටුවීමට රජය මැදිහත් විය යුතු බවට ව්‍යවස්ථානුකූල විධිවිධාන සැලසීමට බො‍හෝ කලකට පෙර බුදුසසුන බැබළවීමට අදාළ වන කටයුතු රාශියක් එතුමා විසින් ඇති කර ඇති බව කෘතඥතා පූර්වකව සිහිපත් කළ යුතුය.

මේ ආගමික කටයුතු ඉටු කරන අතරම එතුමා ව්‍යාපාර ක්ෂේත්‍රයේද දැවැන්තයෙකු විය. කළුතර නාගොඩ ප්‍රදේශයේ එතුමා විසින් පළමුවෙන්ම කාර් බැටරි, බයිසිකල් ටයර් හා ටියුබ් නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන ලදී, පසුව එය ටයර් නැවත පිරවීම, විදුලි ‍ෙක්බල් හා ශීතකරණ නිෂ්පාදනය දක්වා පුළුල් කරන ලදී. ඒ අනුව මේ ස්ථානය ව්‍යාපාර සංකීර්ණයක් ලෙස දියුණුවෙන් දියුණුවට පත්වූ අතර, දහස් ගණනකට රැකියා සැපයූ ස්ථානයක් ද විය.

මේ අනුව දිවයිනේ විදේශ විනිමය අපහසුතාව මඟහැරවීම සඳහා දේශීය නිෂ්පාදනය දියුණු කිරීම සඳහා මූලික වූ ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු ලෙස ද එතුමා අගය කළ යුතුය.

එතුමා ආරම්භ කළ “ස්වර්ණපාලිබස් සමාගම” විසින් එවකට කොළඹ සිට ගාල්ල දක්වා මගී බස්රථ සේවාවක් සපයන ලදී. පසුව මෙය “සවුත් වෙස්ටන් බස් සමාගම” බවට පරිවර්තනය විය. මෙම බස් රථ සමාගම ද අති විශාල රැකියා අවස්ථා ප්‍රමාණයක් ජනිත කර තිබිණි. 1957 බස් ජනසතු කළ අවස්ථාවේදී, සියලුම බස් රථ අලුත්වැඩියා කර ගෙවුණු ටයර් වෙනුවට අලුත් ටයර් යොදා රජයට භාරදෙන ලෙස. ඒ වන විට මෙම බස් රථ සමාගමේ සභාපතිවරයාව සිටි තම සහෝදර වී.ටී. ද සොයිසා මහතාට එතුමා විසින් උපදෙස් දී තිබුණ බව එවකට ප්‍රසිද්ධ කරුණක් විය.

මීට අමතරව සිය ගම් ප්‍රදේශය වන බලපිටියේදී ගම්වාසීන් 1500කට පමණ රැකියා ලබා දෙමින් අත්යන්ත්‍ර පේෂකර්ම කම්හලක් ඔහු ආරම්භ කළේය. දිනකට පැය 16ක් වැඩ කළ ඔහු තම සේවකයන්ගෙන් ද පැය 08ක කාර්යක්ෂම හා අවංක සේවයක් බලාපොරොත්තු විය.

එතුමන්ගේ සේවාවන් අතර තවත් අමතක කළ නොහැකි කාර්යයක් වන්නේ එතුමන් විසින් කළුතරට දායාද කර ඇති කළුතර විද්‍යාලය සහ කළුතර බාලිකා විද්‍යාලය වශයෙන් හැඳින්වෙන බාලක හා බාලිකා විදුහල් දෙක කළුතර නගරයේ ප්‍රධානම සහ ජනප්‍රියතම පාසල් දෙක වශයෙන් පිළිගැනේ.

මේ පාසල්වල උගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අද දිවයිනේ විවිධ ක්ෂේත්‍රවල විශිෂ්ට සේවාවන්හි නිරතවී ඇති අතර, මෙම විදුහල්වලදී දැනටත් නිරතුරුවම සිරිල් සොයිසා මැතිතුමන් කෘතගුණ පූර්වකව අනුස්මරණය කරති.

මීට අමතරව කළුතර බෝම්බුවල එතුමාට අයත්ව තිබූ රබර් වත්තේ බංගලාව, වැඩිහිටි නිවාසයක් බවට පරිවර්තනය කොට ඉතා හොඳින් පවත්වාගෙන යනු ලැ‍ෙබ්.

සමාජ සේවකයෙකු වශයෙන් නම් දරා ඇති එතුමන් දිවයිනේ විවිධ සමිති සමාගම් රැසක එකම කාලය තුළ අනුශාසක/සභාපති/සාමාජික තනතුරු හෙබවූහ. නම් වශයෙන් සඳහන් කළ‍හොත් කොළඹ තරුණ බෞද්ධ සංගමය, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය, මහාබෝධි සංගමය, ලංකා නීතිඥ සංගමය, අඳ බිහිරි අය වෙනුවෙන්වූ ජාතික කවුන්සිලය, ළමා ආරක්ෂක සමිතිය, ලංකා පිළිකා සංගමය, ක්ෂය රෝග මර්දන සංගමය (CNAPT) කළුතර නගර ක්‍රීඩා සමාජය, කොළඹ සිංහල ක්‍රීඩා සමාජය, බාලදක්ෂ සංගමය ඉන් කිහිපයකි. එතුමාගේ හැකියාව, කැපවීම සහ නායකත්වය එතුමන් සමඟ කටයුතු කළ සියලු දෙනාම පිළිගත් හෙයින් හැමවිටම එතුමාට මේ සංවිධානවල නායකත්වය හිමි විය.

ඉහත සඳහන් සියලු සමාජමය හා ව්‍යාපාරික කාර්යයන් ඔහු විසින් ඉටු කරන ලද්දේ වුවද ඔහු වෘත්තියෙන් නීතිඥයෙකු විය. දක්ෂ අපරාධ නීතිඥයෙකු වශයෙන් කළුතර ප්‍රදේශය තුළ කැපී පෙනුණු ඔහු වසර 09ක් ලංකා නීතිඥ සංගමයේ සභාපති වශයෙන් ද නොමැකෙන මෙහෙයක් ඉටු කර ඇත.

කොළඹ උසාවි සංකීර්ණයේ නීතිඥ සංගම් ගොඩනැඟිල්ල ඉදිකරන ලද්දේ එතුමා නීතිඥ සංගමයේ සභාපති වශයෙන් කටයුතු කළ වකවානුවේදීය.

මෙතුමා ක්‍රියාකාරී දේශපාලනෙය් නියැළුණ අයෙකු නොවූවද ඔහුගේ හැකියාවන් හා සමාජ පිළිගැනීම පිළිබඳ සලකා එවකට පිහිටුවා තිබූ උත්තර මන්ත්‍රී මණ්ඩලය ලෙසින් හැඳින්වුණු සෙනෙට් සභාවේ සාමාජිකයෙකු ලෙස එතුමා පත් කරන ලදී. (සෙනෙට් සභාව පිහිටුවා තිබුණේ මැතිවරණ සඳහා ඉදිරිපත්වීමට කැමැත්තක් නොදැක්වෙන එහෙත් දේශයට, ජාතියට සේවයක් කළ හැකි සමාජය පිළිගත් දක්ෂ අයවලුන්ගේ නියෝජනයක් රාජ්‍ය පාලනය සඳහා ලබාදීමේ අරමුණෙනි.) පසුව එතුමා සෙනෙට් සභාවේ සභාපතිවරයා වශයෙන් ද තෝරාගනු ලැබීය.

එතුමා විසින් දේශය වෙනුවෙන් ඉටු කළ සේවාව පිළිබඳව මෙවැනි කෙටි ලිපියකින් කියා නිම කළ නොහැකි හෙයින් මෙහි සඳහන් කරන ලද්දේ ඉතාම කෙටි විස්තරයක් පමණි. මෙතුමා ඉන්දියාවේ උපත ලද්දේ නම් අද එතුමා දේවත්වයෙන් සලකා ගරු බුහුමන් ලැබීමට සුදුස්සෙකු වනු ඇත. ශ්‍රී ලංකාවට දෙවියෙකු බඳුවූ මේ මානව හිතවාදියා 1978 ජනවාරි මස 02 වැනි දින අභාවප්‍රාප්ත වුවද එතුමන් විසින් ආරම්භ කළ සද්ක්‍රියාවන් රැසක් තවමත් මෙරට තුළ ඉතා කාර්යක්ෂමව එතුමාගේ බලාපොරොත්තු ඉටු කරමින් සාර්ථකව පවත්වාගෙන යනු දක්නට ලැබීම සතුටට කරුණකි. 20 වැනි සිය වසේදී ශ්‍රී ලංකාවට අමරණීය සේවයක් ලබාදුන් මේ ජාතික වීරවරයාට ගෞරවය පුද කරමින් එතුමාට ඉතා ඉක්මනින්ම ධර්මාබෝධය ලැබේවායි ප්‍රාර්ථනය කරමි.

කරු ජයසූරිය
කථානායක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

Read 208 times

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!