Friday, 29 March 2024

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කටුඅනෝදා වගාව ප්‍රචලිත කිරීමට වගා කලාපයන් ස්ථාපිත කරයි

Posted On Wednesday, 21 November 2018 04:38

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කටුඅනෝදා වගාව ප්‍රචලිත කිරීමට වගා කලාපයන් ස්ථාපිත කරයි. කටුඅනෝදා - Annona Muricata (Prickly Custard Apple) යනු අපේ රටේ බහුලව වගා කළත් තවමත් බොහෝ දෙනෙක් පරිභෝජනය නොකරන  පළතුරකි .


නමුත් විදේශ වෙළෙඳපළේ මෙන්ම අපේ රටේ සංචාරක කර්මාන්තයේ දී ඉහළ ඉල්ලුමක් සහ ඉහළ මිලක් කටුඅනෝදා සම්බන්ධයෙන් පවතී. එමෙන් ම ඹෟෂධීය ගුණයෙන් අනූන පලතුරක් වන කටුඅනෝදා වගාව මඟින් ඉහළ ආදායමක් ගොවීන්ට උපයාගත හැකිව තිබේ. මෙම කරුණු සැලකිල්ලට ගනිමින් කටුඅනෝදා වගා කලාපයක් අපේ රටේ ප්‍රථම වරට ස්ථාපිත කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව කටුඅනෝදා ප්‍රථම වගා කලාපය  හෙට (21) ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා උපදෙස් දී ඇත.

ඒ අනුව මේ වසර තුළ කටුඅනෝදා පැළ ලක්ෂ දෙකක් ගොවීන් අතර බෙදා දීමට කටයුතු යොදා ඇත.

අපේ රටේ වැවෙන අනෝදා වර්ග තුනක් ඇත. කටුඅනෝදා, වැලි අනෝදා සහ සීනි අනෝදා යනු එම වර්ග තුනයි. මේ අතරින් කටුඅනෝදා සුවිශේෂී වන්නේ එහි ඇති මිනිස් සිරුරේ හටගන්නා පිළිකා සෛල විනාශ කිරීමට ඇති හැකියාවයි. පිළිකා සෛල විනාශ කිරීමට යොදා ගන්නා “ කීමෝ තෙරපි ” ක්‍රමය මඟින් පිළිකා සෛල පමණක් නොව එම සෛල අවට ඇති නීරෝගී සෛල ද විනාශ වේ. නමුත් කටුඅනෝදාවල තිබෙන පිළිකා සෛල විනාශ කිරීමේ ශක්‍යතාවය කීමෝවලට වඩා දහස් ගුණයකින් වැඩි බව පර්යේෂණවලින් ඔප්පු වී ඇත.

අනෙක් කරුණ නම් කටුඅනෝදාවල විටමින් C, විටමින් B6, තන්තු, හෘදයාබාධවලට හේතුවන අහිතකර LDL කොලෙස්ටරෝල් මට්ටම අඩු කර HDL ප්‍රමාණය ඉහළ නැංවීමට ද, හෘදස්පන්දනය සහ රුධිර පීඩනය සමතුලිතව පවත්වා ගැනීමටද, කටුඅනෝදාවලට හැකියාව ඇත.

එම නිසා කටුඅනෝදා වගාව ආර්ථික බෝගයක් වශයෙන් වගා කීරීම මෙන්ම එහි ඇති යහගුණය මහජනතාව අතර ප්‍රචලිත කිරීම සඳහා ද පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.