Tuesday, 23 April 2024

ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතිරි කිරීමේ ගිණුම් සඳහා ලබා දෙන 15% පොලි අනුපාතයේ කිසිඳු වෙනසක් නැත - මුදල් අමාත්‍යාංශය

Posted On Tuesday, 06 August 2019 08:54

මහ බැංකුව,වාණිජ බැංකු මගින් ස්ථාවර තැන්පතු සඳහා ලබා දෙන පොලී අනුපාතය අඩු කර ඇති නමුදු රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා 15% විශේෂ පොලී අනුපාතයන් ලබා දීමේ ක්‍රමවේදයේ කිසිඳු වෙනසක් සිදු කර නොමැත.



ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර ගිණුම් සඳහා ක්‍රියාත්මක 15% විශේෂ ද බැංකු පොලි අනුපාතය අඩු කර ඇතැයි විවිධ මාධ්‍ය වලින් ප්‍රචාරය වූ ප්‍රවෘත්තියේ කිසිඳු සත්‍යතාවයක් නොමැත. 15% වි‍ශේෂ පොලි අනුපාතය, 2015 වර්ෂයේ අය වැය මගින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ගේ ස්ථාවර ඉතිරි කිරීම් ගිණුම් සඳහා ලබා දෙනු ලැබූ අතර එය 2015.03.13 දින සිට කිසිඳු වෙනසකින් තොරව ක්‍රියාත්මක වේ.

2015 අය වැය යෝජනා මගින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායම රුපියල් මිලියනයක් දක්වා රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් කරන ලදි. 2018 අය වැය යෝජනා මගින් මෙම විශේෂ පොලි සහන සීමාව රුපියල් ලක්ෂ 15 දක්වා වැඩි කරන ලදි. ඒ අනුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තව දුරටත් සහන ලබා දීමේ අරමුණින් වාර්ෂික පොලී ආදායම රුපියල් ලක්ෂ 15 දක්වා රඳවා ගැනීමේ බදු වලින් නිදහස් කර ඇත.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සහන ලබා දෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් වාර්ෂිකව රුපියල් බිලියන 16කට ආසන්න මුදලක් වාණිජ බැංකු වෙත ගෙවනු ලැබේ.