Thursday, 18 April 2024

වේවැලෙන් දඩුවම් දීමේ සම්ප්‍රදාය නතර කළ යුතුද?

Posted On Wednesday, 25 September 2019 06:47

 

වේවැලෙන් දඩුවම් දීමේ සම්ප්‍රදාය නතර කළ යුතුද?

‘‘වේවැල් කෝටු නාරං සියඹලා අතු’’ යනුවෙන් ආරම්භ වන හතර පද කවියක් තිබේ. පමා නොවී පාසලට එන බව ශපථ කරන දරුවෙකු වේවැල ඇතුළු අතට ගැනෙන  ඕනෑම දෙයකින් පහර කා තිබේ. 1742-1777 කාල වකවානුවේ ජීවත් වූ අත්තරගම බණ්ඩාර රාජගුරු රචනා කරන ලදැයි අනුමාන කරන වදන් කවි පොතෙහි මෙම කවිය ඇත. දරුවා හොද පාඩමක් ඉගෙන ගෙන ඇත. වේවැල දඩුවමක් දෙන පැරණි එක ක‍්‍රමයකි. වර්තමානයේ දී එය තහනම් කර තිබේ. සීමාව ඉක්මවා දරුවන්ට තරවටු කරන යුගය අවසන්ය. අවවාදයක් දී, මතක හිටින්නට තැලූවහොත් එයට එරෙහිව අපරාධ නඩුවක් පැවැරිය හැකිය.

දරුණු අපරාධ වාර්තා වන සහ සමාජ විනය පිරිහී ඇති බව ප‍්‍රකාශ වන මෙරට වේවැල භාවිතා නොකරන නමුත් ඉතා දියුණු බව දක්වන, අප නිතර ආදර්ශයට ගන්නා සිංගප්පූරුව වේවැල තවමත් භාවිතා කරයි. බි‍්‍රතාන්‍යයට යටත්ව සිටි කාල වකවානුවේ වේවැල් පහර දඩුවමක් වශයෙන් භාවිතා කර ඇත. මලයාසියාව හා බෲනායි රටවල ද එම කාලවකවානුවේ සුළු අපරාධ මර්දනය අරමුණු කරගෙන වේවැල භාවිතා කර තිබේ. සිංගප්පූරුව  වේවැල් පහර නියම කරන අවස්ථා ගණනක් ඇති බව දැක්වෙයි. අධිකරණය පනවන දඩුවමක් වශයෙන් එකකි. බන්ධනාගාරයේ දී සහ පරිවාස ළමා නිවාස වල වේවැල් පහර නියම කෙරේ. ආරක්ෂක අංශ කරන සුළු වැරදි හමුවේ ඉහළ නිලධාරීන්ගෙන් වේවැල් පහර කෑමට සිදුවෙයි. පාසල් දී හෝ නිවසේ දී දරුවෙකුට වේවැලෙන් තැලීමට සිංගප්පූරු නීතිය ඉඩ දී තිබේ. එරට බලධාරීහු කල්පනා කරන අන්දමට සමාජය සුමගට ගැනීම උදෙසා වේවැල සෑහෙන කාර්ය භාරයක් ඉශ්ඨ කරයි.

දරුණු අපරාධ මර්දනය කරන එක පියවරක් වශයෙන් නඩු විභාගයකට පසු මරණ දඩුවම යෝජනා කරන ශ‍්‍රී ලංකාවේ වගකිව යුතු අංශ වේවැල පැත්තකට විසි කර තිබේ. තල අහුරක් සොරා කෑ වරදට කෝටුවකින් දඩුවම් ලැබු කුමාරයා රජ වූ පසු දිසාපාමොක් ආචාරීහු කැදවා නිදහසට කරුණු විමසූ අවස්ථාවක් පන්සිය පනස් ජාතකයෙහි දැක්වෙයි. එම සිද්ධිය දැක්වෙන තිලමුට්ටි ජාතකයට අනුව රජතුමා  කරුණු විමසූ අවස්ථාවේ දී දිසාපාමොක් කියා සිටියේ ‘‘එදා තල සොරා ගත් වරදට දඩුවම් නොකළේ නම් අද ඔබ තුමා මහා සොර නායකයෙකු’’ විය හැකි බවය. සුළු වරදකට දඩුවම් කිරීම හෙලා දකින නූතන ජන සමාජය රට තුළ මහා සොරකම් සිදුවන විට විශාල කලබැගෑනියක් කරමින් සිටී. එය සුදුසු නැත.

අද වන විට රට පුරා මහා පරිමාන දූෂණ වංචා ගැන ආන්දෝලනයක් ඇති කර තිබේ. නමුත් අධිකරණ ක‍්‍රියාමාර්ග අවසානයේ දී කිසිම තොරතුරක් නැත. එය විශාල ඛේදවාචකයකි. වේවැලකින් තැලීම දරුවන්ගේ මනසට බලපාන විශාල ගැටළුවක් බවට විග‍්‍රහ කරන මෙරට ජන සමාජය රට තුළ අපරාධ වර්ධනය වී ඇති බව අවධානයට යොමු කරන්නේ නැත. අපරාධකරුවන්ට ද`ඩුවම් දිය නොහැකි අන්දමට නීතියේ ඇති හිඩැස් සලකා බලන්නේ නැත. නීතිවේදීන්, අධ්‍යාපනඥයන් සහ ප‍්‍රතිපත්ති සම්පාදකයන් මෙම ප‍්‍රවනතා ගැන පුලූල් සාකච්ඡුාවකට යා යුතුය. සුළු වරදකට අවවාද කිරීම, වේවැලකින් පහර දීම මෙරට නීති පද්ධතියට ඇතුළු කිරීම සුදුසුය. දරුවන් පමණක් නොව වැඩිහිටියන්ට ද වේවැලකින් පාඩමක් ඉගැන්වීමට හැකියාව තිබේ. ඉතා දියුණු බව දක්වන සිංගප්පූරුවෙන් ආර්ථිකය හා පරිපාලනය ගැන ආදර්ශ ගැනීමට උත්සුක වන ශ‍්‍රී ලංකාව වරදට දෙන ද`ඩුවම ගැන ද එතැනින් යමක් ඉගෙන ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්ය.

උපුටා ගැනීම  ලංකාදීප පුවත්පත