Thursday, 28 March 2024

ජාතික පොහොර ලේකම් කාර්යාලය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය

Posted On Monday, 24 February 2020 08:28

2019/ 20 වසරේ මහ කන්නයේ වී වගාව සඳහා වන පොහොර අවශ්‍යතාවය මේ වනවිට සපුරා ඇති නමුත් විශාල වශයෙන් වී වගා කරනු ලබන දිස්ත්‍රික්කයන්හි පොහොර හිඟයක් ඇති බවට මේ වනවිට සාවද්‍ය මතයක් ඇති කරමින් පවතී. වී වගාව සදහා
පොහොර හිඟයක් කිසිසේත්ම ඇති වී නොමැති අතර ඒ ඒ ගොවි මහතාට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇති ප්‍රමාණයට ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් රසායනික පොහොර ලබා දී ඇත.

රසායනික පොහොර අධිකව භාවිතය හේතුවෙන් ගොවි මහතුන් හා පාරිභෝගිකයාද බෝනොවන රෝග රාශියකට පාත්‍ර වී ඇති බව පැහැදිලිව ඔප්පු කර ඇති තත්වයක් තුළ නියමිත ප්‍රමාණය ඉක්මවා පොහොර භාවිතා කරන ගොවි මහතුන් හා එකී අධි භාවිතය සඳහා අනුබල ලබාදෙන පිරිස් මෙරට ජනතාව පරිභෝජනය කරන ප්‍රධාන ආහාරයට එකතු වන වස විස ප්‍රමාණය ඉහළ දමා මහජනතාව භයානක රෝගීන් බවට පත් කිරීමේ කොටස්කරුවන් බවට පත්වන බව පෙන්වා දෙමි.



2020 යල කන්නය ආරම්භ වන තෙක් වී වගාව සඳහා ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම සතුව පිලිවෙලින්, යූරියා, ට්‍රිප්ල් සුපර් පොස්පේට් , මියුරියේට් ඔෆ් පොටෑෂ්, මෙ. ටො. 18134 , මෙ. ටො 8266, මෙ. ටො 9131 ක් ප්‍රමාණ අත ඉතිරිව ඇත. ඉදිරි කන්නයට අවශ්‍ය අතිරේක පොහොර ද මේ වනවිට ඇනවුම් කර ඇත. තවද වසරේ නොවැම්බර් මස වනවිට ආනයනික පොහොර සඳහා රජය පොහොර ආනයන කරුවන් වෙත ගෙවීමට තිබූ රුපියල් බිලියන 21.0 ප්‍රමාණයෙන් මේ වන විට
රුපියල් බිලියන හයක ප්‍රමාණයක් ගෙවා ඇති අතර ගෙවීම් සිදු කිරීමට ප්‍රමාද වීම ට ප්‍රධාන හේතුව වී ඇත්තේ පසුගිය වසරේ පොහොර සදහා ගෙවීම් සිදුකිරීමේ දී සාවද්‍ය විශ්ලේෂණ වාර්තා මත ගෙවීම් සිදුකර ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හඳුනා ගැනීමත්, ඒ අනුව සත්‍ය විශ්ලේෂණ වාර්තා ලබාගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් යෙදීමට සිදුවීම බවත් පෙන්වා දිය යුතු ය.


පසුගිය මස තුළ එළවළු මිල ඉහළ යාම හේතුවෙන් එළවළු හා ක්ෂෙත්‍ර බෝග වගාව වැඩි වී ඇති බැවින් වී වගාවට ලබාදීමෙන් පසු ඉතිරිව ඇති පොහොර වර්ග ගොවිජන සේවා මධ්‍යස්ථාන හා රාජ්‍ය සමාගම් මගින් ගොවීන්ට සහනාධාර මිල යටතේ ලබාදීම ආරම්භ කළ අතර එක් එක් ප්‍රදේශයේ ඌණතාව හඳුනාගෙන තවදුරටත් පොහොර නිකුත් කිරීම සිදු කරයි.


එමෙන්ම පෙබරවාරි මස දෙවන සතියේ සිට මුල් කාර්තුව සදහා ගෙන්වීමට නියමිත පොහොර ප්‍රමාණය යූරියා, ට්‍රිප්ල් සුපර් පොස්පේට්,මියූරිට් ඹෆ් පොටෑෂ්, සල්ෆෙට් ඹෆ් ඇමොනියා පිළිවෙලින් මෙ.ටො 37977, මෙ. ටො 5619, මෙ. ටො 13831, මෙ. ටො
14397ක් වේ.
ඒ අනුව සියලුම ගොවි මහතුන් සිදු කරන වගාවන්ට නියමිත ප්‍රමාණවලින් යෙදීමට අවශ්‍ය පොහොර ප්‍රමාණය රට තුළ පවතින බවත් ඉදිරියේදී තවදුරටත් වෙළෙඳපොළ තුළ පොහොර හිගයක් පැවැතීමට ඉඩක් නොමැති බවත් අවධාරණය කරමි.

කෙසේ වෙතත් ගොවීන් වෙත පොහොර අලෙවිකරණ අලෙවි කරුවන් විසිනි පොහොර සඟවා තබා ගැනීම හා එම පොහොර වැඩි මිලට අලෙවි කිරීමට කටයුතු කරන බවට නිරන්තරයෙන් දැනගැනීමට ලැබේ. වෙළඳපොළට පොහොර පැමිණි විගස අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ගොවීන් මිලදී ගැනීමට පෙළඹී ඇති බව ද නිරීක්ෂණය වේ. මේ තත්ත්වය වළක්වා ගැනීම සඳහා සියලු අලෙවිකරුවන් නියමිත මිලට පමණක් පොහොර අලෙවි කිරීමට දැනුවත් කරන ලෙස ප්‍රධාන ආනයන කරුවන් වෙත දැනුම් දී ඇති අතර වෙළෙඳපොළ තුළ මෙම තත්ත්වය පාලනය කර ගැනීම සඳහා පාරිභෝගික සේවා අධිකාරියේ ද සහාය ඇතිව කටයුතු කිරීම ආරම්භ කර ඇත.

විශේෂයෙන් පොහොර හිගයක් ඇතැයි බිය වී ගොවි මහතුන් කිසිවිටෙකත් තමා වෙත පොහොර අලෙවි කරන අලෙවිකරුවා ගෙන් බිල්පතක් ලබා නොගැනීම නිතිය ක්‍රියාත්මක කිරීමට මහත් බාධාවක් වී ඇත. එබැවින් සෑම විටම තමා මිලදී ගන්නා පොහොර සඳහා බිල්පතක් ලබා ගැනීමට ක්‍රියාකරන ලෙස ගොවි මහතුන් ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව රසායනික පොහොර අධි භාවිතය වහාම අවසන් කළ යුතුව ඇති බැවින් ‘සෞභාග්‍යයේ දැක්ම' ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුකූලව ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර හා ජෛවීය පොහොර රසායනික පොහොර වෙනුවට නොමිලේ ලබා දීම සදහා වැඩපිළිවෙළක් සකස් කර ඇති අතර එමඟින් යල් කන්නයේ අක්කර 75000 ප්‍රමාණයක වගා කටයුතු සිදු කිරීම සඳහා රජය රැපියල් මිලියන 250ක් වෙන්කර ඇත. තවද මෙතෙක් විටින් විට ගන්නා තීරණ මත පදනම්ව සිදුකෙරෙන පොහොර ආනයනය හා බෙදාහැරීම නියමිත ජාතික ප්‍රතිපත්තියට අනුව සිදු කිරීම සඳහා පොහොර පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ මූලික කටයුතු ද ආරම්භ කර ඇත.

විශේෂයෙන් වැඩි මිලට පොහොර මිලදී ගැනීමෙන් වළකින ලෙස සියලු මාධ්‍ය වලින් ප්‍රචාරය කිරීමට කටයුතු කිරීම මඟින් රජය විසින් ගොවි ජනතාව වෙත ලබා දී ඇති සහනාධාරය නිසි ලෙස ඔවුන් වෙතම ලැබීමට අවශ්‍ය දැනුවත් කිරීම සිදු කරන මෙන්ද කාරුණිකව ඉල්ලමි.

තවද වැඩි මිලට පොහොර අලෙවිකරණ අලෙවිකරුවන් පිළිබඳව පහත දුරකථන අංකයට දැනුවත් කිරීම මගින් නියාමන කටයුතු පහසු කරගැනීමට සහාය දෙන ලෙස පාරිභෝගික ගොවි ජනතාවගෙන් කාරුණිකව ඉල්ලමි. දුරකථන අංක 0774408185, ජී.අයි.ඩී.සංජීව මයා, ( සහකාර අධ්‍යක්ෂක විමර්ශන)
 .

මහේෂ් ගම්මම්පිල,
අධ්‍යක්ෂක
ජාතික පොහොර ලේකම් කාර්යාලය