Tuesday, 23 April 2024

දුරස්ථ තාක්ෂණය ඔස්සේ සිසු දරුදැරියන්ට අධ්‍යාපනය අඛණ්ඩව- උසස් අධ්‍යාපනය, විභාග ක්‍රම අන්තර්ජාතික ප්‍රමිතියට අනුව පැවැත්වීම පිළිබඳව අවධානය

Posted On Tuesday, 12 May 2020 16:36

කිසිඳු අභියෝගයක් අභියෝගයක් ලෙස නොව එය ඉතා හොඳ අවස්ථාවක් ලෙස සලකන බව මොරටුව විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කපිල පෙරේරා මහතා කියා සිටි.



ඊයේ (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශ්ව විද්‍යාල පද්ධතියේ කටයුතු පවත්වාගෙන යාම පිලිබඳ විශේෂ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

ඒ අනුව මොරටුව විශ්ව විද්‍යාලයේ 75% ප්‍රමාණයක් සියලුම පීඨ වල අධ්‍යන කටයුතු සිදු කරනු ලබන්නේ දුරස්ථ තාක්ෂණය ඔස්සේ බවත් කියා සිටි අතර ඒ ඔස්සේ අධ්‍යන කටයුතු සඳහා අවශ්‍ය ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදු කිරීම සහ විභාග පැවැත්වීම පිළිබඳ ව ද ඉදිරියේ දී සිදු කරන ආකාරය සැළසුම් කරන බවත් ඒ මහතා කියා සිටියේය.

COVID – 19 වෛරස ව්‍යප්තියත් සමඟ මාස 02 ට ආසන්න කාලයක් මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය මුළුමනින්ම වසා දැමීමට කටයුතු කර තිබේ. ඒ අනුව, රාජ්‍ය සහ රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල, වෘත්තීය අධ්‍යාපනය සහ පාසල් පද්ධතිය ද මේ වන විට වසා දමා තිබේ.

ජනාධිපති කාර්යය සාධක බළකායේ කාර්යය භාරයක් ලෙස අප්‍රේල් මස 01 වන දින අධ්‍යාපන අමාත්‍යවරයාගේ මෙන්ම උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ අත්සනින් යුතුව දුරස්ථ තාක්ෂණය ඔස්සේ සිසු දරුදැරියන්ට අධ්‍යාපනය අඛණ්ඩව ලබා දීම සඳහා මෙරට ගුවන් විදුලි නාලිකා දෙකක් වෙන් කර ගැනීමටත්, විදුලි සංදේශන නියාමන කොමිසමේ අවසරය මත සියලුම අන්තර්ජාල සේවා සපයන ආයතන හා එක් ව ගුරුභවතුන්ට සහ රාජ්‍ය සහ පෞද්ගලික විශ්ව විද්‍යාලයන් හි ඉගෙනුම ලබන සියලුම දරුදැරියන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබා දීමටත් අවශ්‍ය කටයුතු මේ වන විට සම්පාදනය කර තිබෙන අතර එමඟින් ඔවුන්ගේ අධ්‍යන කටයුතු සිදු කෙරෙමින් පවතින බව උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක මහතා මෙහි දී කියා සිටියේය.

ඒ අනුව, දුරස්ථ තාක්ෂණය ඔස්සේ තමන්ගේ අධ්‍යන කාලයන්හි දී ප්‍රායෝගික නොවන න්‍යායාත්මක කරුණු වලින් ඔවුන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමටත්, දරුවන් පමණක් නොව ගුරුවරුන් ද විවිධ අධ්‍යන සාකච්ඡා පැවැත්වීමත්, පාඩම් මාලාවන් අන්තර්ජාලයට මුදාහැරිම වැනි දේ සිදු කරමින් පවතින බව මෙහි දී සඳහන් විය.

එමෙන්ම, දුරස්ථ තාක්ෂණය ඔස්සේ උසස් අධ්‍යාපනය අන්තර්ජාතික ප්‍රමිතියට අනුව, විභාග ක්‍රම, ආදිය පැවැත්වීම පිළිබඳව අවධානය යොමු කරන බව ද මෙහි දී වැඩිදුරටත්
සඳහන් විය.

එපමණක් නොව විදෙස් විශ්ව විද්‍යාලයන්හි ඉගෙනුම ලැබූ එහෙත් වෛරසය නිසා මෙරටට පැමිණෙන සිසුන්ගේ නැවතී ඇති අධ්‍යයන කටයුතු සිදු කරගෙන යාම වෙනුවෙන් ද ඉදිරියේ දී විශේෂ වැඩපිළිවෙලක් සැකසීමට කටයුතු කරන බව ද සදහන් කෙරිණි.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න, ජයර්ධන ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක මහාචාර්ය කරුනාවිර ඇතුළු විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් ඇතුළු විද්වත් මණ්ඩලයක් මෙම මාධ්‍ය හමුව සඳහා එක් වූහ.