Thursday, 28 March 2024

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 61ක් වෙයි

Posted On Thursday, 21 May 2020 17:12

ශ්‍රී ලංකාවේ දැනට වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 61 දක්වා දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (21) කියා සිටියේය.



ඒ මහතා අද (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවතී කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ගේ සේවය විශ්‍රාම ගැන්වීමේ වයස වූ වයස අවුරුදු 60 සිට අවුරුදු 61 දක්වා දීර්ඝ කිරීම වෙනුවෙන් සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ඉදිරිපත් කරන විශේෂ යෝජනාවට ද කැබිනට් අනුමැතිය හිමි වූ බව සදහන් කරමිනි.

ලංකාවේ තාක්ෂණික සේවාවන් අතුරින් විශේෂිත අවශ්‍යතාවයක් සහිත ව ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස ගත් විට මෙරට වෛද්‍යවරුන්ගේ විශාල අඩුවක් තිබෙන නිසා එමඟින් සිදු වන පාඩුව පියවා ගැනීම උදෙසා දැනට සේවය කරනු ලබාන වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ කාලය මෙලෙස දීර්ඝ කිරීමට හේතුව වන බවත් ඒ මහතා කරුණු පැහැදිලි කරමින් කියා සිටියේය.

එත් සමඟ වෛද්‍යවරුන්ගේ පමණක් නොව අනිකුත් සියලුම තාක්ෂණික ක්‍ෂේත්‍රයන් ආවරණය වන පරිදි සේවා අවශ්‍යතාවයන් පරිදි සේවය කිරීමේ සහ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 61 දක්වා සැම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි පුළුල් අභ්‍යාසයකින් පසුව තීන්දු ගැනීම පිණිස කමිටුවක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීන්දු කොට ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

එමෙන්ම නැගෙනහිර කොළඹ මූලික රෝහල - මුල්ලේරියාව මූලික රෝහලේ පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් බාහිර රෝගී අංශය, ළදරු සත්කාර ඒකකය සහ දැඩිසත්කාර ඒකකය වෙනුවෙන් රුපියල් බිලියන 1.8 ක මුදලක් වෙන් කිරීමටත්, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඉදිකිරීමට යෝජිත හෘද උරස් ශල්‍ය ඒකකයේ විෂය පථය වෙනස් කිරීම වෙනුවෙනුත් එනම්, දැනට තට්ටු 10 කට යෝජිත ව පවතින එම වාට්ටු සංකීර්ණය තට්ටු 12 ක් දක්වා වැඩි කිරීමටත්, එම අංශයේ හි අස්ථි කාටිලේජ බද්ධ කිරීම ඇතුළු අංශ ඇතුළත් කොට සියලුම අංශ ආවරණය වන පරිදි විෂය පථය වෙනස් කිරීම සඳහාත් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සඳහා ද කැබිනට් අනුමැතිය හිමි ව තිබේ.

එමෙන්ම ලංකාවේ සියලුම වෛද්‍ය හෙද අංශ වල සේවය කරන සියලුම කාර්යය මණ්ඩල සේවය කරන්නන්ට නේවාසිකව නවාතැන් සැපයීම පිණිස නිල නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සඳහා රාජ්‍ය සහ පෞද්ගලික කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බවත්, ලංකාවේ සියලුම රෝහල් වල සෞඛ්‍ය කාර්යය මණ්ඩල වලට අවශ්‍ය නිල නිවාස පහසුකම් සැලසීම සඳහා ඉදිරි කාලයේ දී කටයුතු කරන බවත්, මෙරට COVID – 19 වෛරසය ලංකාවේ සාර්ථකව මර්දනය කළ ද ගෝලීයව බලන කල්හි වෛරසය මුළුමනින්ම ලොව තුළින් තුරන් කරන තෙක් ඒ සමඟ මිනිසුන්ට ජිවත් වීමට සිදු වන බැවින් එකී තත්ත්වය වෙනුවෙන් වර්තමානයේ මෙරට සහ ගෝලීයව පවතින වසංගත තත්ත්වය සැළකිල්ලට ගනිමින් රෝහල් මට්ටමින් පහසුකම් සැලසීම උදෙසා ලංකාවේ සැම රෝහලකම උණ රෝගීන් සදහා විශේෂ වාට්ටු සංකීර්ණ ඉදි කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු ව ඇති බවත්, රමේෂ් පතිරණ මහතා වැඩිදුරටත් සදහන් කළේය.