Thursday, 25 April 2024

දඩ මුදලත් මිලියනයක් මාලබේ-රාජගිරිය කුලුනු මත දුම්රිය නතර කළොත් කෝටි 1850 ක් වන්දි ගෙවන්න වෙනවා

Posted On Tuesday, 23 June 2020 06:52

මාලබේ සිට රාජගිරිය දක්වා කුලුනු මත ඉදිවන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කළහොත් ඇමරිකානු ඩොලර් මිලියන සියයකට අධික වන්දියක් (රුපියල් කෝටි 1850ක්) සහ රුපියල් මිලියනයකට අධික දඩයක් ශ්‍රී ලංකා රජය විසින් ජපාන රජයට ගෙවීමට සිදු වනු ඇතැයි එම ව්‍යාපෘතියේ උපදේශක ආචාර්ය දිමන්ත ද සිල්වා ‘අරුණ’ට පැවසීය.


•02 පිටුවට
ශ්‍රී ලංකා රජය විසින් මෙම ව්‍යාපෘතිය සඳහා දැනට ලබාගෙන ඇති සම්පූර්ණ ණය සහ ජපාන රජයට ගෙවිය යුතු හානි පූර්ණ මුදලක් වශයෙන් මෙම මුදල් තීරණය වනු ඇතැයි හෙතෙම පැවැසීය.
මෙම ව්‍යාපෘතිය නවතා දැමීමට සිදුවන බව පසුගිය සතියේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන කියා සිටියේය. එහෙත් නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් අචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම කියා සිටින්නේ මෙම ව්‍යාපෘතිය රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ සිදු කරන බවය.
ව්‍යාපෘති උපදේශක ආචාර්ය දිමන්ත ද සිල්වා සඳහන් කර සිටින්නේ ලංකාවේ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ මාර්ග ව්‍යාපෘති සැලසුම් කිරීම ඵලදායි නොවන බවයි. එවැනි හවුල්කාරීත්වයකදී මහාමාර්ග භාවිත කරන්නන්ගේ ප්‍රවේශ පත්‍ර මුදලින් ණය ගෙවීමට එකඟ වුණත් ශ්‍රී ලංකාවේ ජනගහණය අඩු නිසා එතරම් විශාල ණයක් ගෙවීමට අපට නොහැකි බවයි.
අදාළ ණය නියමිත කාලයේදී ගෙවීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකාවෙන් ඉඩම් ලබා දෙන බවට අදළ ගිවිසුම්වලදී එකඟ විය යුතු බව හෙතෙම කියා සිටී.
මැයි මස දහතුන්වැනිදා අනුමත කළ කැබිනට් පත්‍රිකාවේ විදෙස් රටවලින් ලබා ගන්නා ණය ප්‍රමාණයේ මෙම ව්‍යාපෘතියට අදාළ ණය සඳහන් නොවීම නිසා ව්‍යාපෘතිය පිළිබඳ අලුතින් සාකච්ඡාවක් ඇති විය.
•කලණ වීරසිංහ