Thursday, 28 March 2024

රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරි අභ්‍යාසලාභීන්ගෙන් 15,000ක් පාසල් අධ්‍යාපන පද්ධතියට- අධ්‍යාපන අමාත්‍ය

Posted On Thursday, 25 June 2020 05:27

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රකාර ව රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගන්නා ලද උපාධිධාරී අභ්‍යාසලාභීන්ගෙන් පහලොස් දහසක (15,000) පිරිසක් පාසල් අධ්‍යාපන පද්ධතියට ගුරුවරුන් ලෙස එක්කරගැනීමට බලාපොරොත්තු වන බවත් ඔවුන් පුහුණු කර පාසල් පද්ධතියට යොමු කිරිම සදහා

මැතිවරණ කොමිසමේ අනුමැතිය අවශ්‍ය වන බවත් අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

මැතිවරණය ප්‍රකාශයට පත් කර ඇති සමය තුළ කිසිදු බඳවා ගැනීමක් සිදු නොකරන ලෙස මැතිවරණ කොමිසම විසින් ලබා දී ඇති නියෝගය හේතුවෙන් මෙම බඳවාගත් උපාධිධාරී අභ්‍යාසලාභීන් පුහුණු කිරීම සඳහා ද මැතිවරණ කොමිසමේ අනුමැතිය අවශ්‍ය වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

මෙරට පාසල් පද්ධතිය තුළ ගුරුවරුන් දෙලක්ෂ හතළිස් දහසකට ආසන්න සිටින නමුත්, විවිධ හේතු මත ගුරුවරුන් පනස් දහසක් (50,000ක්) දෛනිකව නිවාඩු ලබන බව ද, පුහුණු කටයුතු හෝ වෙනත් සේවා අවශ්‍යතා මත ගුරුවරුන් 16,000ක් පමණ දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියෙන් පරිබාහිර ව කටයුතු කරන බව ද, ඒ අනුව, ගුරුවරුන් හැට හය දහසක් (66,000) ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා සක්‍රීයව දායක නොවන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, මේ පිළිබඳ ව අතිගරු ජනාධිපතිතුමන් ද දැනුවත් කරන ලද බවත් ඒ අනුව, උපාධිධාරී අභ්‍යාසලාභීන් 15,000ක් පාසල් පද්ධතියට එක්කර ගැනීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලීමක් කරන ලද බව ද පැවසීය.

මීට පෙර අවස්ථාවල දී උපාධිධාරී අභ්‍යාසලාභීන් රජයේ සේවයට ඇතුළත් කර ගන්නා විට වයස් සීමාව, උපාධිය අභ්‍යන්තර ද බාහිර ද යන්න, උපාධියේ ස්වභාවය, උපාධි විෂය, මෙන්ම උපාධි ලාභියාගේ දේශපාලන පක්ෂය පවා නිර්ණායක බවට පත්ව තිබූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, වත්මන් රාජ්‍ය නායකත්වය තුළ උපාධිධාරියාගේ උගත්කම පමණක් ම පත්වීම් ලබා දීමට සුදුසුකමක් ලෙස සලකන ලද බව ද අවධාරණය කළේය.

එමෙන්ම ඇතැම් රාජ්‍ය ආයතනවල පාසල් කම්කරු, සනීපාරක්ෂක කම්කරු වැනි තනතුරුවල සේවය කරන උපාධිධාරීන් සිටින බව ද උපාධිධාරී අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ දී එවැන්නන්ට ද සාධාරණය ඉටු කිරීමට හැකිවූ බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

උපාධිධාරී අභ්‍යාසලාභීන් ගුරුවරුන් ලෙස පාසල් අධ්‍යාපන පද්ධතියට සම්බන්ධ කර ගැනීම සම්බන්ධව දැනට පවත්නා තත්ත්වය අනාවරණය කිරීම වෙනුවෙන් (24) අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

මේ අවස්ථාවට අධ්‍යාපන ලේකම් එන් එච් එම් චිත්‍රානන්ද, අධ්‍යාපන රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා ඇතුළු අමාත්‍යාංශ ජේෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.