Friday, 19 April 2024

සියලු පාසල්වල 1 සහ 2 ශ්‍රේණි සහ පෙරපාසල් අගෝස්තු මස 10 වැනි දින ආරම්භ කිරීමට තීරණය කෙරේ

Posted On Thursday, 02 July 2020 10:09

දිවයිනේ සියලු පාසල්වල 1 සහ 2 ශ්‍රේණි සහ දිවයින පුරා පිහිටි පෙරපාසල් අගෝස්තු මස 10 වැනි සඳුදා දින ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

 

එමෙන් ම මේ සෑම පාසලක ම විෂබීජහරණ කටයුතු පිළිබඳ ව ඉතා සැලකිල්ලෙන් සොයා බලන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයට ද සියලු පළාත් සභා අධ්‍යාපන අමාත්‍යාංශවලට ද සියලු ම පළාත් පාලන ආයතන වෙත ද අතිගරු ජනාධිපතිතුමන් විසින් උපදෙස් ලබා දී තිබේ.

සියලු ම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල දෙවැනි වසර ශික්ෂණලාභීන් (2017/2019 කණ්ඩායම) සඳහා නේවාසික අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම ජුලි මස 07 දින සිට ජුලි මස 31 දින දක්වා සිදුකෙරේ. සියලු ගුරු විද්‍යාලවල පළමු වසර හා දෙවැනි වසර ගුරු සිසුන් සඳහා අධ්‍යයන කටයුතු ජූලි මස 07 දින සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල තෙවැනි වසර ශික්ෂණලාභීන් (2016/2018 කණ්ඩායම) තම සීමාවාසී පුහුණුව සම්පූර්ණ කිරීම සඳහා පාසල්වලට අනුයුක්ත කිරීම ද ජුලි මස 07 දින සිට ජුලි මස 31 දින දක්වා සිදු කෙරේ.

තව ද, අගෝස්තු මස 10 වැනි දින ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල දෙවන වසර ශික්ෂණලාභීන් (2017/2019 කණ්ඩායම) සීමාවාසී පුහුණුව සඳහා පාසල් වෙත අනුයුක්ත කිරීමට ද කටයුතු යොදා ඇත.

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පළමු වසර ශික්ෂණලාභීන්ගේ (2018/2020 කණ්ඩායම) නේවාසික අධ්‍යයන කටයුතු අගෝස්තු මස 17 වැනි දායින් ආරම්භ කෙරේ.

අප මව්බිම සහ අධ්‍යාපන ආයතන වේගයෙන් යථාතත්ත්වයට පත්වුව ද, තම දූ පුතුන් සෞඛ්‍ය පුරුදුවලින් බැහැර නොකොට, ඔවුන්ගේ නිරෝගීබව ආරක්ෂා කිරීම සඳහා දැඩි ව විමැසිලිමත් වන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය සියලු දෙමාපියන්ගෙන්, විදුහල්පතිවරුන්ගෙන් හා ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටී.