Saturday, 20 April 2024

අද සිට ගුවන්තොටුපල විවෘත වෙයි

Posted On Thursday, 21 January 2021 07:08

අද සිට ගුවන්තොටුපල විවෘත වෙයි

 

කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ 2020 මාර්තු මස 19 වන දින සිට වසා තැබුණු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් අද (21) සිට සංචාරකයින් සඳහා යළි විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

මෙලෙස සංචාරකයින්ට රට විවෘත කිරීම තුළින් සෘජු හා වක්‍ර ලෙස සංචාරක කර්මාන්තයේ නියැලෙන්නන් මිලියන 3කට ආසන්න කණ්ඩායමක් වෙනුවෙන් ගත් සාධනීය ක්‍රියාමාර්ගයක් බවත්, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

යුක්රේන ජාතික සංචාරකයින් 1500ක් පමණ මෙරටට ගෙන්වීමේ නියාමන ව්‍යාපෘතියේදී කළ PCR පරීක්ෂණයන්ගේ වාර්තා අනුව එමගින් සමාජයට වෛරසය පැතිරී නැති බවට තහවුරු කර ගත් බවත්,එහිදී සිදු වූ අපහසුතා මගහරවමින් හා ගැටළු නිරාකරණය කර ගනිමින් ලංකාව සංචාරකයින්ට විවෘත කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

අද (21) දින සිට මෙරටට පැමිණෙන සංචාරකයින් ‘සංචාරක බුබුලක්’ ලෙස ක්‍රියාත්මක වීමට නියමිත අතර හඳුනා ගත් සංචාරක කලාප 14ක සංචාරක බුබුලක් ලෙස ගමන් කිරීමට හැකි වන්නේ PCR පරීක්ෂණයේ ප්‍රතිඵලයෙන් පසුවය.

සංචාරකයින් ලෙසින් මෙරටට ඇතුල් විය හැක්කේ සංචාරක වීසා ඇති අයටත්,ද්විත්ව පුරවැසිභාවය ඇති අයටත්, මෙරට පදිංචිය ඇති(Residence Visa) විදේශිකයින්ටත් පමණි.

ලංකාවට පැමිණෙන සංචාරකයින් වීසා හා PCR පරීක්ෂණ දෙකක් සඳහාත් රක්ෂණය සඳහාත් මුදල් ගෙවිය යුතු අතර දෙවන පරීක්ෂණය දින 5-7 අතර ලබා ගනු ලැබේ.මෙහිදී සෞඛ්‍ය අංශ වල උපදෙස් පරිදි තුන්වන පරීක්ෂණයකටද යොමුවීමට අවස්ථාව සැලසෙන අතර එය අනිවාර්ය නොවේ.මෙරටට පැමිණීමේදී සිදු කරනු ලබන පරීක්ෂණයන්ගේ වාර්තා පැය 36කින් ලැබෙන අතර එතෙක් සංචාරකයින්ට රැඳී සිටින හෝටල් කාමර වලින් බාහිර සමාජය හා සම්බන්ධතාවයක් පැවැත්වීමට අවස්ථාවක් නොලැබේ.

සංචාරකයින් සඳහාම නවාතැන් සැපයීමට හෝටල් 180ක් පමණ හඳුනාගෙන ඇති අතර මෙම හෝටල් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන බවට සංචාරක සංවර්ධන අධිකාරිය මගින් තහවුරු කර නොමිලේ නිකුත් කරන ලද සහතික ලත් හෝටල් වේ. මෙම හඳුනා ගත් හෝටල් සංචාරක අමාත්‍යංශ වෙබ් අඩවියේ පළ කර ඇත.මීට අමතරව සංචාරකයින් නවාතැන් ගන්නා හෝටල් වල කාර්යය මණ්ඩල සාමාජිකයින්ටද සාමාන්‍ය සමාජය සමඟ ගැවසීමට කිසිදු අවස්ථාවක් හිමි නොවන බව අමාත්‍යවරයා පැවසීය.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ,සංචාරක ක්ෂේත්‍රයේ නියැලී වෘත්තිමය අභියෝගයන්ට ලක් වී සිටින ව්‍යාපාරික ප්‍රජාව විසින් ගුවන්තොටුපොළ, සංචාරකයින් සඳහා විවෘත කිරීමට රජය ගත් අභියෝගාත්මක තීරණයන්ට තම ප්‍රසාදය පළ කර ඇත.