Tuesday, 23 April 2024

ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ලැබෙන කොවිඩ් එන්නත හෙට දිවයිනට

Posted On Wednesday, 27 January 2021 07:34

ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ලැබෙන කොවිඩ් එන්නත හෙට දිවයිනට

 

ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ලැබෙන කොවිඩ් එන්නත හෙට (28) පෙරවරු 11.00 ට ලංකාවට- අනිද්දා සිට එන්නත්කරණය අරඹනවා - ජනාධිපති ජ්‍යේෂ්ඨ
උපදේශක සහ කොවිඩ් එන්නත ලබාගැනීම සදහා වන කාර්යයසාධක බලකායේ ප්‍රධානී ලලිත් වීරතුංග

ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ලැබෙන කොවිඩ් එන්නත හෙට(28) පෙරවරු 11.00 ට ලංකාවට ලැබෙන අතර අනිද්දා සිට එන්නත්කරණය අරඹන බව ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සහ කොවිඩ් එන්නත ලබාගැනීම සදහා වන කාර්යයසාධක බලකායේ ප්‍රධානී ලලිත් වීරතුංග මහතා පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ අද (27) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී කොවිඩ් වසංගතයට එරෙහි එන්නත සම්බන්ධයෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවේදී කරුණු පැහැදිලි කරමිනි.

මින් පෙර ජනාධිපතිතුමා විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් කළ ඉල්ලීමක් අනූව ඉන්දීය රජයේ ප්‍රධානයක් ලෙස ශ්‍රී ලංකාවට හෙට (28) දින ලබාදීමට නියමිත ඉන්දියාවේ සීරම් ඉන්ස්ටිටියුට් ආයතනයෙහි නිපදවන මෙම ඔක්ස්ෆර්ඩ් ඇක්සාසෙනිකා කොවිශීල්ඩ් නම් වන එන්නත එයාර් ඉන්දියා ගුවන් යානයකින් පුද්ගලයින් 250,000 කට ලබාදීම සදහා එන්නත් ලක්ෂ 05ක් ලැබෙන අතර එය හෙට දින කටුනායක ගැවන්තොටුපොළේදී ජනාධිපතිතුමන් විසින් භාරගැනීමට නියමිත බවද ලලිත් වීරතුංග මහතා පැවසුවේය.

කොවිඩ් 19 වසංගතයට එරෙහිව එන්නතක් පිළිබදව අප රටේ ජනතාව දැඩි උනන්දුවකින් පසුවූ බවද, පසුගිය වකවානුවේ සිට මේ දක්වා කොවිඩ් හේතුවෙන් සාමාන්‍ය ජනජීවිතය මෙන්ම ළමයින්ගේ අධ්‍යාපන කටයුතු වලට පවා බාධා මතුවූ ආකාරයද සිහිපත් කළ ලලිත් වීරතුංග මහතා වැඩිදුරටත් පැවසුවේ, මෙම එන්නත ලබාගැනීමේ වැඩපිලිවෙල සම්බන්ධයෙන් පසුගිය දින
30ක කාලය පුරා රජය සහ සෞඛ්‍ය අමාත්‍යංශය එක්ව විශාල වැදගත් කර්තව්‍යයක් දියත් කළ බවයි.

මෙම එන්නත සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම එය හදිසි ප්‍රතිකාරයක් වශයෙන් භාවිතා කිරීම සදහා අප රටෙහි ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන්ද අනුමැතිය හිමිවී ඇති බවද ලලිත් වීරතුංග මහතා කියා සිටියේය.

මෙම එන්නත හෙට දින අප රටට ලැබුණු විගස කටුනායක ගුවන්තොටුපොළේ සිට ශ්‍රීතාගාර සහිත වාහන වලින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ශීතාගාර වෙත ලබාදෙන අතර මුළු රටේම දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි ගබඩා පහසුකම් යටතේ ගබඩා කර තැබීමටද නියමිතව ඇත. මෙම එන්නත සෙල්සියස් අංශක 2ත් 8ත් අතර උෂ්ණත්වයක පවත්වා තබාගත යුතු අතර ඒ සදහා අපගේ සෞඛ්‍ය අංශ වල පහසුකම්ද පවතී.

එන්නත ලබාදීමේදී ප්‍රමුඛතා කණ්ඩායම් පිළිබදව විශේෂ අවධානය ලබාදෙනු ලබන අතර, මෙහිදී ප්‍රධාන කොට්ඨාශ තුනක් පිළිබදව අවදානය යොමු කෙරෙනු ඇත. එහිදී පළමු පෙළ වශයෙන් කොවිඩ් මර්දනය සදහා ඉදිරියෙන් සිටින සෞඛ්‍ය කාර්යය මණ්ඩලය සැලකෙන අතර 150,000 ක පමණ පිරිසක් ඒ යටතේ ඇත.

දෙවන පෙළ වශයෙන් ගැනෙනුයේ ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ ආරක්ෂක අංශ වල සිටින 115,000 – 120,000 ක පමණ පිරිසකි. මේ යටතට ගුවන් තොටුපොල වල සේවය කරන පිරිස්ද හදුනාගෙන ඇත.

තෙවනුව ලක්ෂ 34ක් පමණ වන වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සැලකෙන අතර මෙහිදී නිධන්ගත රෝග වලින් පෙළෙන්නන් හට යම් ප්‍රමුඛතාවයක් හිමිවෙයි.

ජනාධිපතිතුමන් චීන රජයෙන් සිදුකළ ඉල්ලීමක් අනූව ඉදිරියේදී චීනයේ නිපදවන සයිනො ෆාමා එන්නත ලක්ෂ 03ක ප්‍රමාණයක් ප්‍රධානයක් වශයෙන් අප රටට ලැබීමට නියමිත වන අතර, ජනපතිතුමන් රුසියාවෙන් කළ ඉල්ලීමක් අනූව රුසියවේ නිපදවන ස්පුට්නික් එන්නතද නුදුරේදී අප රටට ප්‍රධානයක් වශයෙන් ලැබෙනු ඇත.

මෙම එන්නත් දෙක සදහා දැනට පවත්නා දත්ත මත අධ්‍යයනයන් සිදුකර ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ අප රටේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියද ලබාගැනීමට නියමිතව ඇත. කොවිඩ් මර්දනය සදහා වන එන්නත් මිලදී ගැනීමේ ක්‍රියාවලියටද රජයේ අවධානය යොමුවී ඇති අතර ජාතික ඖෂධ සංස්ථාව විසින් ඉදිරියේදී
ඉන්දියාවේ සීරම් ඉන්ස්ටිටියුට් වෙත එන්නත් මිලියන 2 -3 ක ප්‍රමාණයක් සදහා ඇණවුමක් ලබාදීමට නියමිතය.

කොවිඩ් මර්දන එන්නත් ලබාගැනීම සදහා ලොව බොහෝ රටවල් අතර විශාල තරගයක් පවතින අතරම එය ඉතා කල්පනාකාරීව සිදුකළ යුතු විහාල මෙහෙයුමක් බවද ලලිත් වීරතුංග මහතා පැවසුවේය.