Thursday, 28 March 2024

පාර්ලිමේන්තු සම්ප්‍රදායට වසර 70යි...! අභිමානවත් විශේෂ සභාව අදයි

Posted On Tuesday, 03 October 2017 05:36

ශ්‍රී ලංකාව තුළ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතව වසර 70ක් සම්පූර්ණවීම නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු සභා වාරය  අද (03) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වෙන බව කතානායක කරූ ජයසූරිය මහතා පවසයි.


සුවිශේෂී ආරාධිත අමුත්තන්ගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව ප.ව. 2.30ට විශේෂ පාර්ලිමේන්තු සභාව අරම්භ වෙයි. එහිදී අතිගරු ජනාධිපතිතුමා, අග්‍රමාත්‍යතුමා, සභානායකතුමා, විපක්ෂනායකතුමා සහ පාර්ලිමේන්තුවේ පිළිගත් දේශපාලන පක්ෂ නායකයන් විසින් සභාව අමතනු ඇත.

ඉන් අනතුරුව කතානායක කරූ ජයසූරිය මහතා විසින් ස්තූති කතාව පවත්වනු ලබයි.

මේ අවස්ථාවට සාර්ක් රාජ්‍යයන් හී සියලු පාර්ලිමේන්තුවල කතානායකවරු, නියෝජ්‍ය කතානයකවරු, විදේස් රටවල නියෝජිතවරු,ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වීමට නියමිතය.

විශේෂ සභාවාරය අවසන්වීමෙන් අනතුරුව, තේ පන් හා භෝජන සංග්‍රහයක් පවැත්වීමට නියමිතය. අමුත්තන්ගේ පොතේ අත්සන් තැබීම, සමරු මුද්දරය නිකුත් කිරීම සිදු කෙරේ.

ඉකුත් වසර 70 තුළ ශ්‍රී ලංකාවේ සංවර්ධනය හා සමාජ අභිවෘද්ධිය උදෙසා විවිධ පනත් රාශියක් සම්මත කිරීමට  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සමත් වී ඇත. අධ්‍යාපනය, සෞඛ්‍ය,  කෘෂිකර්මය, ප්‍රවාහනය, බලශක්ති උත්පාදනය, නිවාස, මහාමාර්ග යනාදී ක්ෂේත්‍ර ගණනාවකට අදාළ පනත් හේතු කොටගෙන ශ්‍රී ලාංකිකයන්ගේ ජන ජීවිතය උසස් වී ඇත. අප රටේ මානව සංවර්ධන දර්ශක අසල්වැසි රටවලට වඩා බෙහෙවින් ඉහළ ගොස් තිබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දායකත්වය ඉමහත් ය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවදයට වසර 70ක් සපිරෙන මේ අවස්ථාවේ ජාතිය හමුවේ ඇති අභියෝග ජයගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව දැඩි ලෙස අදිටන් කරගෙන ඇති බව පාර්ලිමේන්තුව නිවේදනය කරයි.

පාර්ලිමේන්තු සම්ප්‍රදායට වසර 70ක් පිරීම අභිමානවත්ව පැවැත්වීමට කටයුතු කෙරෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයෙහි නොබිඳුණු වාර්තාවක් සමඟින් ආසියානු කලාපයේ තිබෙන වැඩිහිටි ස්වර්වජන ඡන්දයෙන් තේරීපත්වන පැරනිතම පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාව බවද කතානායක කරූ ජයසූරිය මහතා පවසයි.

අවුරුදු බොහෝ ගණනකට පසු කලාපීය දේශපාලන නායකයින් වශයෙන් කතානායකවරුන්ගේ පමිණීම අප රටට දක්වන ලෙන්ගතුකමක්,හා ආශිර්වාදයක් බවද කතානායකවරයා පැවසීය.