Thursday, 18 April 2024

භාෂා සහකාර නිලධාරීන් 3300ක් බඳවා ගැනීමට පියවර

Posted On Monday, 28 May 2018 09:09

සියලුම රජයේ ආයතනවල රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා සිංහල භාෂාවෙන් හා දෙමළ භාෂාවෙන් කටයුතු කළ හැකි භාෂ සහකාර නිලධාරීන් 3300ක් බඳවා ගැනීමට පියවර ගැනේ.


මේ පිළිබඳව තමා ඉදිරිපත්කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇතැයි ජාතික ඒකාබන්ධතා,සංහිදියා හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා කොළඹ, ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථාන,ශ්‍රවණාගාරයේ අද (28) පැවැති උත්සවයක දී පැවසී ය.

මේ සඳහා අයදුම් කරන සිංහල අපේක්ෂකයින් අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් සිංහල භාෂාවට අමතරව දෙමළ භාෂාව ද සමත් විය යුතු අතර දෙමළ අයදුම්කරුවන් එම විභාගයේ දී දෙමළ භාෂාවට අමතරව සිංහල
භාෂාව ද සමත් වී තිබිය යුතු බව ද අමාත්‍යවරයා පැවසී ය.

මෙම තනතුරු සඳහා බඳවා ගන්නා අයට පුහුණුවක් ලබා දී ඔවුන් සෑම රාජ්‍ය ආයතනයකට පත් කෙරෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

අමාත්‍යාංශ මට්ටමින් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීම පිළිබඳ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ මෙහෙයවීමෙන් පැවැත් වූ සමීක්ෂණ වාර්තාව නිකුත් කිරීම නිමිත්තෙන් මෙම උත්සවය පවැත්විණි.


සිංහල සහ දෙමළ භාෂා මේ රටේ රාජ්‍ය භාෂා වශයෙන් නීතිගත වී ඇතත් බොහෝ රාජ්‍ය ආයතනවල කටයුතු සිදුවන්නේ ඒ අනුව නොවේ. මේ නිසා තම ප්‍රශ්නයක් වෙනුවෙන් සිය මව් භාෂාවෙන් තොරතුරු ලබාගැනීමට යන බොහෝ දෙනෙකුට ද්විත්ව භාෂා දන්නා නිලධාරීන් එම ආයතනවල නොසිටීම නිසා දුෂ්කරතාවයට මුහුණපෑමට සිදුව තිබේ.

මෙයට පිළියමක් වශයෙන් 2008 වර්ෂයේ සිට රජයේ නිලධාරීන්ට දෙමළ භාෂාව පිළිබඳව දින 12ක  පන්ති පවත්වන නමුත් එය අසාර්ථක වී ඇත. මේ නිසා ප්‍රදේශිය ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ඇතුළු සෑම රජයේ ආයතනයකටම භාෂා සහකාර නිලධාරීන් පත් කිරීමට තමන් කටයුතු කරන බවත් ඒ සඳහා  කබිනට් මණ්ඩල අනුමතිය ලැබී ඇති හෙයින් මෙම නිලධාරීන් බඳවා ගනීමට ළඟදීම අයදුම්පත් කැඳවන බවද අමාත්‍යවරයා පැවසී ය.

අමාත්‍යාංශ මට්ටමින් රජයේ භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීම පිළිබඳව සමීක්ෂණ වාර්තාවේ පිටපත් අමාත්‍ය මනෝ ගනේෂන් මහතා අතින් පැමිණ සිටි නිලධාරීන්ට ලබාදෙන ලදී.

තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ සාමාජික නීතිඥ එස්.ජී.පුංචිහේවා,විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, ජ්‍යේෂ්ඨ පර්යේෂණ නිලධාරී ලයනල් ගුරුගේ යන  මහත්වරු මෙහිදී අඳහස් දැක්වීය.