Wednesday, 24 April 2024

සන්නස ක්‍රීඩා

අපේ නිලධාරීන් තෝරා නොගත් වොලිබෝල් දක්ෂයා තායිලන්තයේදී වෙනත් කණ්ඩායමකට ක්‍රීඩා කර ශූරතාවය දිනා පෙන්වයි

Posted On Friday, 31 July 2020 05:41
 

ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමේ හිටපු කියුබානු ජාතික පුහුණුකරුගේ සහ වොලිබෝල් බලධාරීන්ගේ කැපිල්ලට ලක් වූ ජනිත් සුරත් තායිලන්තයේ දී වටිනා ජයග්‍රහණයක් නකොන් රචසිමා කණ්ඩායමට ක්‍රීඩා කරමින් අත්කර දීමට සමත්ව තිබෙනවා.

ඒ මෙවර සාග් ක්‍රීඩා උළෙලේදී තමන් කපා දැමූ නිලධාරීන් සහ පුහුණුකරුට අභියෝගයක් එල්ල කරමින්. මෙවර තායිලන්ත වොලිබෝල් ලිග් ශූරතා තරගාවලියේදී ශූරතාව නකොන් රචසිමා කණ්ඩායම දිනා ගැනීමට සමත් වුණේ ජනිත් සුරත්ගේ දක්ෂතා හමුවේයි.

ඒ අනුව මෙවර තායිලන්ත වොලිබෝල් ලීගයේ දක්ෂතම උස පන්දු ප්‍රහාරකයා ලෙස ජනිත් සුරත් සම්මාන දිනා ගත්තේ ශ්‍රී ලංකා වොලිබෝල් සන්නාමය ද ජාත්‍යන්තර රැගෙන යමින්. 

මීගමුව තිඹිරිගස්කටුව ගමේ උපන් ජනිත සුරත් මූලික අධ්‍යාපනය ලැබුවේ මීගමුව දුටුගැමුණු මහා විද්‍යාලයේන්. පසුව උසස් අධ්‍යාපනය සඳහා ශාන්ත මරියා මහා විද්‍යාලයට ඇතුළත් වුණා. වයස අවුරුදු 18දී වොලිබෝල් ක්‍රීඩාවට යොමු වූ ජනිත සුරත් ජාතික වොලිබෝල් කණ්ඩායමට තේරී පත් වන්නේ 2007 වර්ෂයේදීයි. 2014 වසරේදී ඔහු ජාතික කණ්ඩායමේ නායකත්වයට පත් වුණා.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවය කරන ඔහු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වොලිබෝල් කණ්ඩායමේ නායකයා ද වනවා. කෙසේ වෙතත් කියුබානු පුහුණුකරු ජනිත් සුරත් මෙවර සාග් තරගාවලියෙන් කපා දමන්නේ ඔහුට වඩා දක්ෂකයින් කණ්ඩායම තුළ සිටින බව පවසමින්.

කෙසේ වෙතත් මෙවර සාග් ක්‍රිඩා උළෙලේදී ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායමද දැඩි පසුබෑමට ලක් වුණා. වොලිබෝල් ක්ෂේත්‍රයේ පවතින දූෂණ වංචා පිළිබද ඍජුව කතා කළ ජනිත් සුරත් මෙරටින් බිහි වූ දක්ෂතම වොලිබෝල් ක්‍රීඩකයෙකු ලෙසයි සැලකෙන්නේ.

නෙත් නිව්ස්

Read 635 times