Saturday, 20 April 2024

සන්නස ක්‍රීඩා

ශ්‍රී ලංකා මැද පෙළ සුළි කුනාටුවකට හසුවෙද්දී කැන්ගරුවෝ ජය මාවතේ Featured

Posted On Wednesday, 08 June 2022 03:16

වෝනර්ගෙන්  ශ්‍රී ලංකාවට එරෙහි  වාර්තාවක්

ශ්‍රී ලංකා පිලේ ඉදිරිපෙළ ක්‍රීඩකයන් ලබාදුන් ශක්තිය ඉදිරියට ගෙන යෑමට මැද පෙළ පිතිකරුවන් අසමත්වීම හේතුවෙන් සංචාරක ඔස්ට්‍රේලියානු පිල හා ශ්‍රී ලංකාව අතර පැවැති පළමු විස්සයි 20 තරගයෙන් පන්දු 36ක් ඉතිරිව තිබියදී කඩුලු 10ක ජයක් ඔස්ට්‍රේලියාවට හිමි විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී විදුලි ආලෝක ධාරා මැද ඊයේ රාත්‍රියේ පැවැති මේ තරගයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ඕවර් 19.3ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 128ක් ලබාගත් අතර, ඔස්ට්‍රේලියා පිල ඕවර් 14කදී කිසිවකු නොදැවී ලකුණු 134ක් ලබා ජයග්‍රාහී ඉලක්කය පසු කළේය. ශ්‍රී ලංකා ඉනිමේ පිතිකරුවන් 7ක් බින්දු තුනකින් හා ලකුණු එක බැගින් ලකුණු පුවරුවේ සිටිද්දී ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු යුගල වූ නායක ඇරොන් ෆින්ච් හා ඩේවිඩ් වෝනර් සැලසුම් සහගත පිතිකරණයකට පිවිස ජය මාවත විවරකර ගත්හ.

ඩේවිඩ් වෝනර් ශ්‍රී ලංකාවට එරෙහි අවසන් ඉනිම 5කදී පිට පිට ශතකයක් හා අර්ධ ශතක 4ක් වාර්තා කොට ඇති අතර, විස්සයි 20 තරග බිමේ ප්‍රතිවාදී කණ්ඩායමකට එරෙහිව ක්‍රීඩකයකු පිහිටවූ වාර්තාවක් ලෙස එය සටහන් විය. 2019 වසරේ ඔක්තෝබර් 19 වැනිදා ඇඩිලේඩ්හීදී නොදැවී ලකුණු 100ක්, එම තරගාවලියේදීම බ්‍රිස්බේන්හීදී නොදැවී ලකුණු 60ක් හා මෙල්බර්න් හීදී නොදැවී ලකුණු 57ක් වෝනර් රැස්කර ගත්තේය. අනතුරුව වෝනර්ට පසුගිය වසරේ ඩුබායි හී පැවැති ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව හමුවේ ලකුණු 65ක් වාර්තා කළේය. ඊයේ ඔහු වාර්තා කළේ ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 50ට වැඩියෙන් රැස් කළ 5වැනි අවස්ථාව විය.

ඩේවිඩ් වෝනර් පන්දු 44කදී හයේ පහර 4ක් හා හතරේ පහර 4ක් සමග නොදැවී ලකුණු 70ක් රැස්කළ අතර, ඇරොන් ෆින්ච් පන්දු 44කට මුහුණදී හතරේ පහර 9ක් සමග සමග නොදැවී ලකුණු 70ක් රැස් කළේය. ඔහු එල්ල කළ එකම හයේ පහර ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 5ක් අවශ්‍යව තිබියදී එල්ල කිරීම අලංකාර දසුනක් විය.

ලෝක ශූර ඔස්ට්‍රේලියා පිලට එරෙහිව මුල් ඕවර් 12 තුලදී ශ්‍රී ලංකා පිතිකරුවන් පහර පිට පහර දෙමින් සිටියදී කලකට පසු විස්සයි 20 තරගයක ආශ්වාදය විදීමට පැමිණි ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයෝ ප්‍රීති ඝෝෂා නැගූහ. එහෙත් එතැන් සිට ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීමෙන් ඔවූහූ මළානිකවී ගියහ. ශ්‍රී ලංකා ඉනිම ඕවර් 12ක් වෙද්දී ලකුණු 100කට කඩුල්ලක් දැවී ගොස් තිබුණද, අවසන් කඩුලු 9ක් ලකුණු 28කට දැවී යෑම ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිත බව විදහා පෑමකි.

ඔස්ට්‍රේලියා මඳවේග පන්දු යවන ජොස් හේස්ල්වුඩ් ශ්‍රී ලංකා ඉනිම සුනු විසුණු කළ පන්දු යවන්නා වූ අතර, ඔහු යැවූ තරගයේ 13වැනි ඕවරයේ කඩුලු 3ක් බිඳ හෙලා ගැනීම තරගයේ හැරවුම් ලක්ෂය විය. හේස්ල්වුඩ් ලකුණු 16කට කඩුලු 4ක් බිඳ හෙලද්දී ඔහුට අනෙක් අන්තයෙන් සහය වූ වේග පන්දු යවන මිචෙල් ස්ටාර්ක් ලකුණු 26කට කඩුලු 3ක් බිඳ හෙලා ශ්‍රී ලංකා බලාපොරොත්තු සුන් කළහ.

පැතුම් නිස්සංක ලකුණු 22ක් ලබා සිටියදී ඩීප් මිඩ් විකට් වෙතට එල්ල කළ උඩ පන්දුව ස්ටීව් ස්මිත් අතින් ගිලිහී යෑම හැර ඔස්ට්‍රෙලියා ක්‍රීඩකයන් වෙතට ලැබුණු උඩ පන්දු හයම සුරැකිව රැක ගැනීම කැපී පෙණුනි.

පලපුරුදු පිතිකරුවකු වූ කුසල් මෙන්ඩිස් ලකුණු 1ක් ලබා තිබියදී බොහෝ වේලාවක් එකතැන උඩුගුවනේ සිට ‘මිඩ් ඕෆ්‘ වෙතට පැමිණි උඩ පන්දුව ඇෂ්ටන් අගාර් රැක ගැනීමත් සමග ශ්‍රී ලංකා ඉනිමේ බිඳ වැටීම ආරම්භ විය. අයිපීඑල් තරගාවලියේ දස්කම් දැක්වූ භානුක රාජපක්ෂගේ කඩුල්ල ලකුණු බින්දුවේදී විකට් රකින මැතිව් වේඩ් උඩ පන්දුවක් රැක ගැනීමෙන් හා නායක දසුන් ශානක කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගැනීමෙන් හෙසල්වුඩ් ශ්‍රී ලංකා පිතිකරු ලැයිස්තුවට තර්ජන ගෙන දුන්නේය.

එක් අන්තයකින් කඩුලු පිට කඩුලු බිඳ වැටෙද්දී අංක එක පිතිකරු ලෙස පිටියට පිවිසි 24 හැවිරිදි චරිත් අසලංක ජ්‍යෙෂ්ඨයන්ට ආදර්ශයක් වන පරිදි පන්දු 34කදී හයේ පහරක් හා හතරේ පහර 3ක් සමග ලකුණු 38ක් ලබාගත් අතර, ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 31කදී හයේ පහරක් හා හතරේ පහර 2ක් සමග ලකුණු 36ක් ලබා ගත්තේය. අසලංක දුවද්දී දැවී යෑම ද ශ්‍රී ලංකාවට අවාසිදායක විය.

එමෙන්ම අනෙක් ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක පන්දු 15කදී හයේ පහරක් හා හතරේ පහර 3ක් සමග ලකුණු 25ක් ලබා ගැනීමට සමත් විය. වනිදු හසරංග මැද පෙළට ශක්තියක් වූ එකම පිතිකරු වෙමින් පන්දු 15කදී හතරේ දෙකක් සමග ලකුණු 17ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් අතර වූ පළමු කඩුල්ලට සම්බන්ධතාව ලකුණු 39ක් වූ අතර, දෙවැනි කඩුල්ලට පැතුම් නිස්සංක හා චරිත් අසලංක ලකුණු 61ක් එක් කළහ.

ඊයේ දිනයේ අවස්ථා තුනකදී පමණ තරගයට වර්ෂාවෙන් බාධා සිදුවූ අතර, දෙවැනි විස්සයි 20 තරගය අද රාත්‍රී 7ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීම ආරම්භ වේ.

ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව

පී.නිශ්ශංක ප. ස්ටාක් 36

ඩී.ගුණතිලක ඇ.මාෂ් ප. හේස්ල්වුඩ් 26

සී.අසලංක දුවද්දී දැවී ගියා 38

කේ.මෙන්ඩිස් ඇ.අගාර් ප. හේස්ල්වුඩ් 1

බී.රාජපක්ෂ ඇ.වේඩ් ප. හේස්ල්වුඩ් 0

ඩී. ශානක ක.මු.ක. ප. හේස්ල්වුඩ් 0

ඩබ්.හසරංග ඇ.ෆින්ඩ් ප. ස්ටාක් 17

 

සී.කරුණාරත්න දුවද්දී දැවී ගියා 1

ඩී.චමීර ඇ.වෝනර් ප. ස්ටාක් 1

එම්. තීක්ෂණ ඇ.වෝනර් ප. රිචඩ්සන් 1

එන්. තුෂාර නොදැවී 0

අතිරේක 7

එකතුව සියලුදෙනා දැවී (ඕවර 19.3) 128

කඩුලු බිඳ වැටීම - 1-39, 2-100, 3-102, 4-103, 5-103, 6-116, 7-118, 8-127, 9-128, 10-128

පන්දු යැවීම - ස්ටාක් 4-0-26-3, හේස්ල්වුඩ් 4-0-16-4, මාෂ් 2-0-21-0, මැක්ස්වෙල් 2-0-18-0, රිචඩ්සන් 3.3-0-22-1, අගාර් 4-0-25-0

ඔස්ට්‍රේලියාව

ඒ.ෆින්ච් නොදැවී 61

ඩී.වෝනර් නොදැවී 70

අතිරේක 3

එකතුව කිසිවකු නොදැවී (ඕවර 14) 134

පන්දු යැවීම - තීක්ෂණ 4-0-25-0, තුෂාර 2-0-21-0, චමීර 4-0-48-0, හසරංග 2-0-27-0, චාමික 2-0-13-0

ක්‍රිකට් තරගයකට ඉතිහාසගත ආරක්ෂාවක්

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හා ඒ අවට වෙනදාට වඩා දැඩි ආරක්ෂාක රැකවල් යොදා තිබිණි. ක්‍රිකට් තරගයකට ලබාදුන් ඉතිහාසයේ වැඩිම ආරක්ෂාව ඊයේ දිනයේ දක්නට ලැබුණු අතර ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා විශේෂ කාර්ය බලකා ආරක්ෂක බළඇණි විශාල ප්‍රමාණයක් ප්‍රේක්ෂකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යොදා තිබිණි.

මේ පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසීමකදී පැවැසුවේ රටේ පවතින වත්මන් තත්ත්වය අනුව වෙනදාට වඩා ආරක්ෂාව තහවුරු කිරීමට සැලසුම් කළ බවය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ වසරකට පසුව අන්තර්ජාතික ක්‍රිකට් තරගයක් ඊයේ පැවැති අතර, ක්‍රීඩාංගණයට පිවිසෙන මාර්ගයේ පරීක්ෂා කිරීම් සිදු කිරීමට විධිවිධාන යොදා තිබිණි. ඒ සියලු ආරක්ෂක ක්‍රමවේද ප්‍රේක්ෂකයන්ට පීඩාවක් සිදු නොවන පරිදි සිදු කිරීමට ආරක්ෂක අංශ කටයුතු කොට තිබිණි. ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පළමු විස්සයි 20 තරගය නැරැඹීමට ප්‍රේක්ෂකයින් 30000කට ආසන්න ප්‍රමාණයක් පැමිණ සිටියහ.

Read 447 times