Friday, 29 March 2024

පරිසරයට අදාළව මතුවන ගැටළු තත්ත්වයන්ට විසඳුම් ලබාදීමට අන්තර් අමාත්‍යාංශ සම්බන්ධීකරණ වැඩපිළිවෙළක් අරඹයි

Posted On Friday, 05 March 2021 16:18

පරිසරයට අදාළව මතුවන ගැටළු තත්ත්වයන්ට විසඳුම් ලබාදීමට අන්තර් අමාත්‍යාංශ සම්බන්ධීකරණ වැඩපිළිවෙළක් අරඹයි

 

පරිසරයට අදාල වරින් වර මතුවන ගැටළු සහගත තත්වයන්ට මුහුණ දීම සඳහා අන්තර් අමාත්‍යාංශ සම්බන්ධීකරණ වැඩපිළීවෙළක් ආරම්භ කිරීම (04) දින පරිසර අමාත්‍යාංශයේ දී සිදු විය.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ජනවාරි මාසයේ දී ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවිය ඒ අනුව පළමු අන්තර් අමාත්‍ය සාකච්ඡාව පරිසර අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

මෙම අන්තර් අමාත්‍ය සම්බන්ධීකරණ වැඩසටහනට පරිසර අමාත්‍යාංශය, වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය, ජලසම්පාදන අමාත්‍යාංශය, වනජීවි රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂීත වැඩ පිළීවෙළ හා නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා අමාත්‍යාංශ එක් වී තිබේ.

ඒ අනුව අදාල අමාත්‍යාංශ බාර අමාත්‍යවරුන්වන වන මහින්ද අමරවීර, ආචාර්ය නාළක ගොඩහේවා, වාසුදේව නානායක්කාර, විමලවීර දිසානායක යන අමාත්‍යවරුන් ද, අමාත්‍යාංශ ලේකම්වරුන් වන වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ බන්ධුල හරිස්චන්ද්‍ර මහත්වරු ද සහභාගි වුහ.

මෙහිදී සාකච්ඡා කරන ලද කරුණු අතර මෑතක සිට මාධ්‍ය මගින් හෙළිදරව් කරන වන විනාශයන්, හා විශේෂයෙන් මුතුරාජවෙල තෙත් බිම සංරක්ෂණය වැඩ පිළීවෙළ ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. එහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ පරිසරය විනාශ කිරීම් පිළිබඳව කතිකාව මේ වනවිට රජය හා අතිගරු ජනාධිපතිතුමන් ඉළක්ක කරමින් දියත් කර තිබෙන ප්‍රචාරක වැඩ පිළීවෙළක් දක්වා පුළුල් වී ඇති බවයි. අතිගරු ජනාධීපතිතුමා කිසිදු අවස්ථාවක කැළෑකැපීමට කිසිදු පාර්ශ්වයකට උපදෙස් දී නැත. නමුත් ග්‍රාමීය අංශයේ ඇතැම් ගොවින් තමන් වගා කළ ඉඩම් නැවත ලබා දෙන ලෙස කර ඇති ඉල්ලීම් සළකා බලා එම ඉඩම් නැවත වගා කිරීම සඳහා අහිංසක ගොවීන්ට ලබා දීමට කටයුතු කරන ලෙස උපදෙස් දී තිබේ.

එමෙන්ම වනාන්තර හා පරිසරය විනාශ කරන ජාවාරම්කරුවන්ට එරෙහිව ඝෘජුවම නීතිය ක්‍රියාත්මක කරන ලෙස අතිගරු ජනාධිපතිතුමා උපදෙස් දුන් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය ආචාර්ය නාළක ගොඩහේවා මහතා කියා සිටියේ මුතුරාජවෙල සංරක්ෂණය කර එය රැම්සාර් තෙත්බිමක් දක්වා සංරක්ෂණය කර නැවත වනජීවි අමාත්‍යාංශයට බාර දෙන බවයි. 1990 හෙක්ටෙයාර් 3060ක් වු මුතුරාජවෙළ මේ වනවිට විවිධ පුද්ගලයින් අත්පත් කර ගැනීම නිසා හෙක්ටෙයාර් 1200ක් දක්වා අවම වී තිබේ.

රජය මෙම තෙත්බිම නාගරික සංවර්ධන අධිකාරිය යටතට ගෙන සංරක්ෂණය කිරීමට තීරණය කළේ අන් කිසිවක් නිසා නොව දැනට මෙහි ඇතැම් ඉඩම් පවරා ගැනීමට සිදුවන නිසා ඊට කඩිනමින් මුදල් ගෙවීමේ හැකියාවක් වනජීවි අමාත්‍යාංශයට නොමැති නිසාය. එමෙන්ම මෙම පරිසර පද්ධතිය සංරක්ෂණය කිරිමේ තාක්ෂණය හා හැකියාව ඇති ආයතන දෙකම තම අමාත්‍යාංශය සතුව පවතින බව ද හෙතෙම කීය.

දැනට එක්තරා පුද්ගලික සමාගමක් මෙහි ඉඩම් අත්පත් කරගෙන සිටියත් එම ඉඩම් සියල්ලම නැවතත් රජයට පවාරගෙන මුතුරාජවෙල තෙත්බිම් කලාපයට ලබා දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධව අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ එම පුද්ගලික සමාගම මෙහි වෙඩි පිටි, ගොල්ෆ් පිටි හා හෝටල් ආරම්භ කිරීමට සැලසුම් කර සිටියත් ඒ කිසිවකට අවසර නොදෙන බවයි. එම සමාගම මුතුරාජවෙළ තෙත්බිමට විශාල අනතුරක් කර ඇති බවද අමාත්‍යවරයා කීය. රජය විසින් ඔවුන් අත්පත් කර ගෙන තිබෙන අක්කර 700 නැවත පවරා ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.