Friday, 26 February 2021 15:27

වෛරස විනාශ කිරීමේ හැකියාවෙන් යුත් ප්‍රථම මුව ආවරණය අගමැති වෙත පිළිගැන්වේ

වෛරස විනාශ කිරීමේ හැකියාවෙන් යුත් ප්‍රථම මුව ආවරණය අගමැති වෙත පිළිගැන්වේ

 

ශ්‍රී ලාංකේය නව නිපැයුම් ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් පිරිසක් විසින් නිෂ්පාදනය කරන ලද
නැනෝ තාක්ෂණයෙන් වෛරස නසන මුව ආවරණය හඳුන්වාදීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු කමිටු ශාලා අංක 01හිදී පැවැත්විණි.

මෙහිදී පළමු නැනෝ තාක්ෂණික මුහුණු ආවරණය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්වන ලද අතර, කොවිඩ් වසංගතය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීම වළක්වා ලීම සඳහා එවකට උසස් අධ්‍යාපන, තාක්ෂණික හා නවෝත්පාදන අමාත්‍යවරයා වශයෙන් ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් දේශීය නව නිපැයුම්කරුවන් වෙත ලබා දුන් මඟපෙන්වීම මත, පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් සිදු කරන ලද පර්යේෂණයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම මුව ආවරණය 100%ක්ම නිසි තාක්ෂණයෙන් යුක්තව නිෂ්පාදනය කිරීමට හැකි වූ බව එහිදී අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී රාජපක්ෂ මහතා සඳහන් කරන ලදී.

එමෙන්ම වර්තමානයේ දී වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින්, මෙම නිෂ්පාදනය මහා පරිමාණයෙන් සිදු කොට වෙළෙඳපොලට නිකුත් කිරීම සඳහා අවශ්‍ය ආයෝජකයන්ගේ සහාය ලබා දීම තුළ මෙම නැනෝ තාක්ෂණික මුව ආවරණය නිෂ්පාදනය කිරීමේ ඒකාධිකාරය ලබා ගනිමින් දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොල වෙතද නිකුත් කිරීමට හැකිවනු ඇතැයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ස්ථර තුනකින් යුත් මෙම මුහුණු ආවරණය මඟින් බාහිරින් පැමිණෙන ඕනෑම වෛරස අංශුවක් විනාඩි ගණනක් තුළදී විනාශ කිරීම ද, ආශ්වාස ප්‍රශ්වාසය තුළින් ඉවත් වන කෙළ බිඳිති වැනි දේ ක්ෂණිකවම ඉවත් කිරීමේ හැකියාව පවතින බවද, එමෙන්ම සාමාන්‍යයෙන් භාවිතා කෙරෙන මුහුණු ආවරණ වලට වඩා ඉතාමත් ආරක්ෂාකාරී වූ පැවැත්මක් මෙම මුව ආවරණය සතු වන බව ද පර්යේෂණ මඟින් සනාථ කර ඇති ආකාරය පෙන්වා දුන් මහාචාර්යවරයා, ශ්‍රී ලාංකාවේ කිසිසේත් නිෂෟපාදනය කළ නොහැකි යැයි බැහැර කර තිබූ මෙම මුහුණු ආවරණය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම මත නිෂ්පාදනය කරන ලද බව ප්‍රකාශ කරන ලදී.

එමෙන්ම මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ, සමස්ත ලෝකයේම සිදු නොකළ මට්ටමේ අති විශිෂ්ට නිර්මාණයක්, ශ්‍රී ලංකාව
තුළ අපනයන මට්ටමට නිෂ්පාදනය කිරීම පිළිබඳව රටක් වශයෙන් ආඩම්බර විය හැකි කරුණක් වන බවයි.
එමෙන්ම මෙම මුහුණු ආවරණය නිසි ගුණත්වයෙන් යුක්තව කඩිනමින් නිෂ්පාදනය කොට දේශීය වෙළෙඳපොලට නිකුත් කිරීමට ද නියමිතය.