Friday, 19 April 2024

2021 වසරේ දී ක්‍රීඩකයන් භාවිතා නොකළ යුතු යැයි නම් කළ තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව ලබන 21 දා පාර්ලිමේන්තුවට

Posted On Tuesday, 20 April 2021 09:11

2021 වසරේ දී ක්‍රීඩකයන් භාවිතා නොකළ යුතු යැයි නම් කළ තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව ලබන 21 දා පාර්ලිමේන්තුවට

 

ලෝක උත්තේජන මර්දන නියෝජ්‍යායතනය විසින් 2021 වර්ෂයේදී විවිධ ක්‍රීඩාවන් සඳහා හදුන්වාදෙනු ලැබූ තහනම් උත්තේජක ඇතුළු තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව ලබන 21 දා පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ, ( 19 ) පාර්ලිමේන්තුවේදී පැවති තරුණ හා ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට සහභාගී වෙමිනි.

විශේෂයෙන් වාර්ෂිකව ලෝක උත්තේජන මර්දන නියෝජ්‍යායතනය විසින් විවිධ ක්‍රීඩාවන් සඳහා තහනම් උත්තේජක ද්‍රව්‍ය ලෙස නමිකරන ලැයිස්තුවක් නිකුත් කරන අතර නොදැනුවත්ව හෝ ක්‍රීඩකයන් මෙම ද්‍රව්‍යන් තම කුසලතා වර්ධනය සඳහා භාවිතා කිරීම ඔවුන් එම තරග ඉසවුවේ තහනමට ලක්වීමට හෝ වෙනයම් ක්‍රියාමාර්ගයකට යොමු කිරීමට හේතුවක් වේ.

මේ අනුව 2021 වර්ෂයේ ජනවාරි 01 දින සිට මෙම වර්ෂයේ දෙසැම්බර් 31 දින දක්වා වලංගු වන තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව මෙසේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මීට අදාල ගැසට් නිවේදනය පසුගිය පෙබරවාරි 23 වෙනිදා නිකුත්කොට තිබූණි.

විවිධ ක්‍රීඩා ඉසව්වන් වල නියැලෙන තරගකරුවන් තරඟ කාලසීමාව තුළදී, සියළු අවස්ථාවලදී, විශේෂයෙන් සඳහන් කරන ලද අවස්ථාවලදී භාවිතා නොකළයුතු සහ අපහරණයට ලක්විය හැකි ද්‍රව්‍යන් ලෙස භාවිතා නොකළයුතු ද්‍රව්‍ය ගණනාවක් මේ මගින් නම්කොට තිබේ.