Friday, 19 April 2024

කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවගේ සුභ සාධනයට රුපියල් බිලියන දෙකකට අධික මුදලක් - පීඩාවට පත් අනෙක් දිස්ත්‍රික්කවල ජනතාවටත් සහන සැලසේ

Posted On Wednesday, 25 August 2021 10:38

කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවගේ සුභ සාධනයට රුපියල් බිලියන දෙකකට අධික මුදලක් - පීඩාවට පත් අනෙක් දිස්ත්‍රික්කවල ජනතාවටත් සහන සැලසේ


කොවිඩ් වසංගත හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් මහජන සුභසාධන කටයුතු සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් රුපියල් බිලියන දෙකක (කෝටි දෙසියයකට) අධික මුදලක් වැය කර ඇතැයි කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසයි.

“කොවිඩ් නිරෝධායන ඇඳිරි නීති සමයේ කොළඹ දිස්ත්‍රික් මහජන සුභසාධනය” යනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද ( අගෝස්තු 25 දා ) පැවති විශේෂ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව පැවසීය.

ඒ අනුව පසුගිය වසරේ මාර්තු සිට නිරෝධායනයට ලක්වූ පවුල් අසූ දහස් තුන්සිය හැත්තෑවක් සඳහා රුපියල් දස දහසක ආහාර සළාකයක් ලබාදීම සඳහා රුපියල් මිලියන හයසිය අනූ අටක මුදලක් වැයකොට ඇති බවත්, මීට අමතරව පසුගිය කාලය තුළ හුදකලා කළ පවුල් තුන්ලක්ෂ තුන්දහස් හාරසිය හැට එකක් සඳහා රුපියල් පන්දහසක දීමනාව ලබාදීම සදහා රුපියල් මිලියන එක්දහස් පන්සිය පනහක මුදලක් වැය කොට ඇති බවත්, මේ දෙකෙහිම එකතුව රුපියල් කෝටි දෙසියයකට අධික බවත්, කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා හෙළි කළේය.

මෙහිදී අදහස් දැක්වූ මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පැවසුවේ, මේ වන විට රුපියල් දෙදහසේ දීමනාව ලබා දීම ආරම්භ කර ඇති බවත්, නිරෝධායනයට ලක්වූ පවුල් එක්ලක්ෂ තිස් දහස් හාරසිය හැත්තෑ පහක් සඳහා මේ වන විට වියලි ආහාර භාණ්ඩ සලාකය සඳහා රුපියල් මිලියන තුන්සිය දෙකක මුදලක් වැයකොට ඇති බවත්, පසුගිය සමයේ ලබාදුන් රුපියල් පන්දහසේ දීමනාව ලබාදීම සඳහා රුපියල් මිලියන හාරසිය හැට හයක මුදලක් පවුල් අනූ හත්දහස් හතලිස් තුනක් අතරේ බෙදා දුන් බවත්ය.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඩිකෝරාල මහතා අදහස් දක්වමින් පැවසුවේ රුපියල් දෙදහසේ දීමනාව ලබාදීම සදහා පවුල් හතලිස් නවදහසක් පමණතෝරාගෙන ඔවුන්ගෙන් පිරිසකට මුදල් ගෙවා ඇති බවයි.

බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය මෙම සාකච්ඡාව සමඟ සම්බන්ධවෙමින් පැවසුවේ බදුල්ල දිස්ත්‍රික්කය සඳහා රුපියල් දෙදහසේ දීමනාව සඳහා රුපියල් මිලියන එකසිය හතලිස් එකක මුදලක් රජය විසින් වෙනකර ඇති බවත්, නිරෝධායනය වන පවුල් පවුල් දහනව දහස් හයසිය පනස් හතරක් සඳහා රුපියල් මිලියන එකසිය අනූ හයක් මුදලක් රජය මේ වන විට වෙන් කර ඇති බවත්, මීට අමතරව රුපියල් පන්දහසේ භාණ්ඩ දීමනාව ලබාදීම සඳහා පවුල් දෙදහස් හාරසිය එකක් සඳහා රුපියල් මිලියන දොලහක් මුදලක් ලබා දී ඇති බවත්ය. එමෙන්ම රුපියල් පන්දහසේ මුදල් දීමනාව ලබාදීම සඳහා අවස්ථා 04 කදී ප්‍රතිලාභීන් පන්ලක්ෂ අසූ දෙදහස් නවසිය හැට නවයක් සදහා රුපියල් මිලියන දෙදහස් නවසිය තුනක මුදලක් රජය මගින් ලබාදුන් බවයි.

මෙම අවස්ථාවේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ තත්ත්වය පහදා දෙමින් එම දිස්ත්‍රික්කයේ ලේකම් එච්. පී. සුමනසේකර මහතා පැවසුවේ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ රුපියල් දෙදහස ගෙවීමට නියමිත පවුල් හයදහස් හාරසිය හැත්තෑ හයක් සිටින බවත් ඔවුන් වෙනුවෙන් රුපියල් මිලියන එකසිය තිස් දෙකකට අධික මුදලක් යෙදවීමට නියමිත බවය.

එමෙන්ම අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා අබේසේකර මහත්මිය අදහස් දක්වමින් පැවසුවේ, රුපියල් දෙදහසක දීමනාව යටතේ හඳුනාගත් පවුල් ගණන අනු එක්දහස් පන්සිය හැට හතරක් වන අතර ඔවුන් වෙනුවෙන් රුපියල් මිලියන එකසිය අසූ තුනක පමණ මුදලක් යෙදවීමට නියමිත බවත්, මේ වන විට රුපියල් මිලියන එකසිය තිස් දෙකක් වෙන්කර ඇති බවත්ය. එමෙන්ම නිරෝධායනය වන පවුල් සඳහා රජය මගින් ලබාදෙන රුපියල් දස දහසක් වටිනා බඩුමලු පවුල් පහලොස් දහස් දෙසිය අනූ හතක් අතරේ බෙදී ගොස් ඇති බවත්, රුපියල් පන්දහසක දීමනා සදහා රුපියල් මිලියන පහලවක පමණ මුදලක් රජය විසින් ලබා දී ඇති බවත්ය.