Friday, 29 March 2024

සැප්තැම්බර් පළවෙනිදා සිට ජාතික රෝහලේ කොවිඩ් රෝගීන් ගණන ක්‍රමයෙන් පහළ ගියා - විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ

Posted On Wednesday, 08 September 2021 15:00

සැප්තැම්බර් පළවෙනිදා සිට ජාතික රෝහලේ කොවිඩ් රෝගීන් ගණන ක්‍රමයෙන් පහළ ගියා - විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ


සැප්තැම්බර් පළවෙනිදා සිට කොළඹ ජාතික රෝහලේ කොවිඩ් රෝගීන් ගණන ක්‍රමයෙන් පහළ ගිය බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ අද (08) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී කොවිඩ් වත්මන් තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමට පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

අද උදෑසන වන විට කොළඹ ජාතික රෝහලේ කොවිඩ් ආසාදිතයින් 349ත් සිටි බවද, සැප්තැම්බර් පළමු වෙනිදා ආසාදිතයින් 472ක් රෝහලේ ප්‍රතිකාර ලබාගත් අතර මේ වන විට රෝහලේ කොවිඩ් රෝගීන් ක්‍රමයෙන් අඩුවීගෙන යන බවක් පෙනෙන්නට ඇතැයිද ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.

නමුත් නේවාසිකව සිටින රෝගීන්ගෙන් 50%කට ආසන්න ප්‍රමාණයකට ඔක්සිජන් අවශ්‍යතාවයක් පවතින බවද, එය අඩුවී නොමැති අතර රෝගීන්ට ඔක්සිජන් ලබාදීමේ හැකියාව වැඩිදියුණු කිරීමට කටයුතු කර ඇති බවද ඔහු කියා සිටියේය.

ඖනෑම වෙලාවක රෝහලෙහි රෝගීන් 300කට අධික ප්‍රමාණයකට ඔක්සිජන් ලබාදය හැකි බවද, එ සඳහා අවශ්‍ය කරන උපකරණ සෑහෙන ප්‍රමාණයක් පවතින අතර විශේෂිත උපකරණද 225ක් පවතින බව ඔහු සඳහන් කළේය.

ජාතික රෝහලෙහි ඔක්සිජන් වල අඩුපාඩුවක් නොමැති අතර රෝහලේ ඇති ටොන් 20ක ඔක්සිජන් ටැංකිය මගින් සියලුම රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් නල මාර්ගයෙන් ලබාදෙන අතර මෙලෙස නල මාර්ගයෙන් සෑම වාට්ටුවකටම ඔක්සිජන් සැපයෙන බවද වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. පෙර සූදානමක් වශයෙන් තවත් ටොන් 10ක ඔක්සිජන් ටැංකියක්ද සිථාපනය කිරීමට කටයුතු කර ඇතැයිද ඔහු පැවසුවේය.

ශ්‍රී ලංකා ජාතික රෝහල ලංකාවේ විශාලතම රෝහල වශයෙන් ඇදන් 3250කින් පමණ සමන්විත වන අතරම එයින් ඇදන් 750කට අධික ප්‍රමාණයක් මේ වන විට කොවිඩ් රෝගීන් සඳහා වෙන්කර ඇති බව වෛද්‍යවරයා කියා සිටියේය.

කොවිඩ් රෝගය ඇරඹි දින සිට ක්‍රමයෙන් රෝගීන් වැඩි වීමේදී වාට්ටු පවරා ගනිමින් ඒම වාට්ටු වෙනත් වාට්ටු සමග සම්බන්ධ කරමින් රෝගීන්ව දිගටම ඇදන් වල තැබීමට ක්‍රියා කළ ආකාරයත් කිහිප අවස්ථාවක හැරුණු විට ඇදන් සම්පූර්ණයෙන්ම රෝගීන්ගෙන් පිරී නොගිය බවත් විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා සිහිපත් කළේය.

අවශ්‍ය වුවහොත් තවත් ඇදන් 180ක ප්‍රමාණයක් සහ වාට්ටු කිහිපයක් පැය කිහිපයක් ඇතුළත නැවත සූදානම් කිරීමේ හැකියාවක් පවතින බවද, මේ දිනවල ක්‍රමයෙන් රෝගීන් අඩුවන නිසා නනැවත රෝගීන් වැඩි වෙතැයි බලාපොරොත්තු නොවන බවද ඔහු පැවසුවේය.

පවතින තත්ත්වය දිගටම පවතිනු ඇතැයිද ඒලෙස වුවහොත් රෝගය පාලනය කර ගැනීමට ඉතාම පහසු වනු ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

ජාතික රෝහල රෝගීන් භාර නොගන්නා බවට ඇතැම් මාධ්‍ය වල පසුගියදා පුවත් පළවුණු බව සිහිපත් කළ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ, කවදාවත් කිසිම රෝගියෙකු හරවා යවන්නේ නැති බවද ඉදිරියටත් එලෙසම කටයුතු කරන බවටද ජාතික රෝහල වශයෙන් තමාට සහතික විය හැකි බවයි.

කිසිම අසාධ්‍ය රෝගියෙක් භාරනොගෙන සිට නොමැති බවද, කොවිඩ් හේතුවෙන් රෝහලට රෝගීන් පැමිණෙන නිසා අනෙකුත් කටයුතු නැවතී ඇතැයි ඇතමුන් සිතුවද එසේ නොමැති බවද ඔ්නෑම කෙනෙකුට රෝහලට පැමිණිය හැකි බවද ඔහු පැවසුවේය.

මෙම කර්තව්‍ය කරගැනීමට විශාල මුදලක් වැයවුණු අතර රජය සහ පරිත්‍යාගශීලීන් විසින් එම මුදල් ලබාදුන් බවද, පරිත්‍යාගශීලීන් විසින් මිලියන 90ක වටිනාකම් සහිත ද්‍රව්‍ය සහ උපකරණ ජාතික රෝහලට ලබාදුන් බවද සිහිපත් කිරීමට ඔහු අමතක නොකළේය.

ජාතික රෝහල සතුව ඇති වන්නට ඇදන් ඇතැයිද, මේ සදහා වෙන් කළ දැඩිසත්කාර ඒකක ඇදන් 25ක්ද දැඩිසත්කාර ඒකක 03ක්ද පවතින නමුත් වඩාත් හොඳ වන්නේ රෝගය බෝ කර නොගනිමින් සිටීම බවද, රෝගය බෝවීම රදාපවතින්නේ ජනතාවගේ හැසිරීම මත බවද ඔහු සදහන් කළේය.

නිසි පරිදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්නේ නම් අවශ්‍ය කරන ක්‍රමවේද භාවිත කරන්නේ නම් රෝගය වැළදීමට ඇති ප්‍රවණතාවය ඉතාමත් අඩු බවද වෛද්‍යවරයා පැවසුවේය.

රෝහල් කාර්ය මණ්ඩලයේ සෑහෙන ප්‍රමාණයක්ද කෙවිඩ් ආසාදනය වුණු බවද, නමුත් ඔවුන් කිසිම කෙනෙකු අමාරු තත්ත්වයට පත්නොවුණු බවද එයට ප්‍රධාන හේතුව එන්නත්කරණය බවද ඔහු සදහන් කළේය.

එන්නත්කරණ ක්‍රියාවලිය ඇරඹිදා සිටම ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ දිනපතා සායනයක් පවත්වාගෙන යන බවත් ඕනෑම කෙනෙකුට එන්නත් ලබගැනීම සඳහා එම සායනයට පැමිණිය හැකි බවද ඔහු අවධාරණය කළේය.

ජාතික රෝහලේ සායන වලට සහභාගී වන්නන්ගේ බෙහෙත් මෙම දින වල තැපැල් මාර්ගයෙන් ලබාගැනීමට හැකි බවද, අත්‍යවශ්‍යම රෝගීන් හට සායන වෙත පැමිණිය හැකි බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.