Thursday, 18 April 2024

කළුදිලීර රෝගය වසංගතයක් ලෙස ඇතිවීමට ඉඩකඩ නැහැ-විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

Posted On Wednesday, 15 September 2021 15:46

කළුදිලීර රෝගය වසංගතයක් ලෙස ඇතිවීමට ඉඩකඩ නැහැ-විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්


කළුදිලීර රෝගය වසංගතයක් ලෙස ඇතිවීමට කොහෙත්ම ඉඩකඩ නොමැති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, අද (15) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

කළු දිලීර රෝගය රටේ රෝහල් කිහිපයකින් මේ වන විට හමුවී ඇති අතර එය සංඛ්‍යාත්මකව බැලීමේදී රෝහල් අතලොස්සකින් හමුවූ ඉතා සුළු ප්‍රමාණයක් බව පැවසීය.

දැනට කොළඹ ජාතික රෝහල, කුරුණෑගල සහ රත්නපුර ආදී රෝහල් වලින් මෙය වාර්තා වී ඇති බවද එය ශරීරයේ සෑදෙන ස්ථානය මත රෝගලක්ෂණ තීරණය වන බවද හේමන්ත හේරත් මහතා කීය.

මෙය හමේ, නාසයේ සහ මොළයේ හටගත හැකි අතර ඇසේ හෝ ඇස ආශ්‍රිතව මෙන්ම ශරීරයේ අභ්‍යන්තර මතුපිටවල් වල සහ පෙනහැල්ලේද හටගත හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.

මෙහි ඇති මූලික විෂබීජය දිලීරයක් බවද එය පරිසරයේ පවතින බවත් ආවාට ගියාට මෙම රෝගය කිසිවෙකුට නොවැළදෙන අතර මෙය වැළදෙන්නේ ප්‍රතිශක්තිකරණය අධික ලෙස හීන වූ පාලනය ‌නොකළ බෝ නොවන රෝගවලින් පෙළෙන්නන් හා ඉන්ද්‍රියන් බද්ධ කර ප්‍රතිශක්තිය අඩුවීමට බෙහෙත් ලබාදී ඇති අය ආදීන්ට බව සදහන් කළේය.

මෙය පරිසරයෙන් බෝ වන අතර පුද්ගලයාගෙන් පුද්ගලයාට නොයන බවද යම් අවස්ථාවක ප්‍රතිශක්තිය විශාල ලෙස දුර්වල වී සිටින අයට මෙය ශරීරගත වී ආසාදනයක් බවට පත්විය හැකි බවද ඔහු කියා සිටියේය.

අවදානම් කණ්ඩායම් හදුනාගැනීම වඩාත්ම වැදගත් බවද, ප්‍රතිශක්තිය හීන වීමට හේතු වන රෝගයක් හෝ ප්‍රතිකාරයක් ලබාගන්නා අය මේ සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතු බවද ඒමහතා පෙන්වා දෙයි.

දිරාපත් වන කසළ පුස් ඇති ස්ථාන වලින් බීජාණු වායුගෝලයට එකතු විය හැකි බවත්, එවැනි ස්ථාන වලින් වැළකීමත් ප්‍රතිශක්තිය හීන රෝගීන් තමාට එවැනි කුමන හෝ රෝගබාධයක ලක්ෂණ පෙන්නුම්කරයි නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීමත් වැදගත් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.

ප්‍රතිශක්තිය අධිකව හීන රෝගීන්ගේ මෙය ශරීරය පුරා ව්‍යාප්ත වී මරණය පවා සිදුවිය හැකි බවද, ප්‍රතිශක්තිකරණය මද වශයෙන් හීන අයට මෙය වැළදුණහොත් ප්‍රතිකාර ලබාදී සුවකළ හැකි බවද විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.